ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව තුළ සාමය ආරක්‍ෂා කරන බවට දේශපාලන නායකයින්ගෙන් පොරොන්දුවක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව තුළ ඉතා සාමකාමී අන්දමින් ගැටුම්වලින් තොරව කටයුතු කිරීමට සියලූ දේශපාලන පක්ෂ නායකයින් එකඟත්වයකට පැමිණෙයි.

ඒ ඊයේ(18) ජනාධිපතිවරයා කැඳවා තිබූ සර්වපාක්ෂික හමුවේදීය.

ඊට එක්වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ නායකයින් මෙම එකඟත්වයක් ඇතිකරගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

පාර්ලිමේන්තුවේ වත්මන් තත්ත්වය සහ ඉදිරි වැඩකටයුතු සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා කැඳවූ මෙම සර්ව පාක්ෂික හමුව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදි පැවැත්වුණි.

රජයක් වෙනස් කිරීමේදී හඩ අනුව තීරණ ගැනීම කාලෝචිත නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම සර්ව පාක්ෂික හමුවේදී පැවසීය.

එය පැය 2 කට ආසන්න කාලයක් ඉතා සුහදව සහ මිත්‍රශීලීව පැවති බව ජනාධිපති මාධ්‍ය ඒකකය තවදුරටත් නිවේදනය කළේය.

ඉදිරියේදී පාර්ලිමේන්තුව තුළ ක්‍රියා කළයුතු ආකාරය සම්බන්ධයෙන් අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී සුදුසු තීරණයක් ගැනීමටත් ඊයේ එකඟතාවකට පැමිණ තිබේ.

ජනාධිපතිවරයා මෙම හමුවේදී පක්ෂ නායකයින්ගෙන් ඉල්ලා ඇත්තේ රජයට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව තමාට තීරණයක් ගැනීමට නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නමින් හෝ ඉලෙක්ට්‍රොනික ක්‍රමය භාවිතයෙන් ඡන්දය ගණනය කිරීම අත්‍යාවශ්‍ය බවයි.

එය තමන්ටත්, රටේ උගත් බුද්ධිමත් ජනතාවටත්, අන්තර්ජාතිකවත් වඩාත් පිළිගත හැකි ක්‍රමය බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දී ඇත.

මෙම සර්වපාක්ෂික හමුවට කථානායක කරූ ජයසූරිය සහ ජනතා විමුක්ති පෙරමුණ සහභාගි වී නොමැත.

පස්වරු 5 ට පමණ ආරම්භ වූ මෙම හමුවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියේය.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල සහ අජිත් පී පෙරේරා එක්වුණි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන නිදහස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ යන පක්ෂ සහ කණ්ඩායම්වල නායකයින් මෙන්ම නියෝජිතයින්ද සහභාගිවී සිටියහ.

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මෙම හමුවට එක්වුණි.

ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරන ඊ.පී.ඞී.පී. සංවිධානයේ නායක අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම් සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන්ද සහභාගිවී සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top