ප්‍රමුඛ පුවත 1

ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක්

UTV | COLOMBO – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට ඉන්දීය ජාතිකයෙකු හෙළි කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයට දැනුම් දුන්නා.

මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන තැතක් සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළ නාමල් කුමාර හමුවීමට පැමිණි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදියි.

අදාළ ඉන්දීය ජාතිකයා පසුගිය දා දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර හමුවීමට වරකාපොළ පිහිටි ඔහුගේ නිවසට පැමිණ තිබුණා.

ඔහුගේ හැසිරීම සහ ඔහු ප්‍රකාශ කළ කරුණු පිළිබදව මතු වූ සැකයක් හේතුවෙන් නාමල් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇති අතර, පසුව එම දෙපාර්තමේන්තුව මගින් අදාළ ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගැනුණා.

අනතුරුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ කර ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ ඥාතීන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පිළිබද තොරතුරු තමන් දන්නා බවයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පෙරවරුවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත තොරතුරු වාර්තා කරමින් කියා සිටියේ අදාළ කුමන්ත්‍රණය කවුරුන් විසින් කළේ ද යන්න සහ එම කුමන්ත්‍රණය පිළිබදව මෙම පුද්ගලයා දැන ගත් ආකාරය පිළිබදව තවදුරටත් විමර්ශන කළ කළ යුතු බවයි.

ඒ සඳහා තවදුරටත් ඔහු රදවාගෙන ප්‍රශ්න කළ යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. අදාළ ඉන්දීය ජාතිකයා ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත්, මෙරටට පැමිණ වීසා කාලසීමාව ඉක්ම වන තෙක් රාගම ප්‍රදේශයේ කාමරයක් කුලියට ගෙන සිට ඇති බවත්, දැනට අනාවරණ වී තිබෙනවා.

මේ අතර, ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබදව හෙළි කළ නාමල් කුමාරගේ කට හඬ හඳුනා ගැනීම සඳහා අද පෙරවරු 10ට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ නියෝග කළා.

මේ අතර, පොලිස්පතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය සහය ලබා නොදුනහොත් සිදුව ඇතැයි පැවසෙන ජනපති ඝාතන කුමන්ත්‍රණයට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ බවට සැකයක් මතු වන බව කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top