Trending News

‘අධිකරණ ක්ෂේත්‍රයට අදාළව තම අභිමතය මත තනි තීන්දුවක් ගෙන නෑ’ ජනපති

(උදයම්,කොළඹ)  – අධිකරණ ක්ෂේත්‍රයට අදාළ පත්කිරීම් සිදුකිරීමේදී කිසිදු අවස්ථාවක තම අභිමතය මත තනි තීන්දුවක් නොගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාතික නීති සම්මේලනයේ සමාරම්භක උත්සවයට සහභාගීවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා.

” මේ දිනවල අන්තර්ජාලය හරහා ෆේස්බුක්, වෙබ් අඩවි, මාධ්‍ය තුළ දකින දෙයක් තිබෙනවා. මට චෝදනාවක් තියෙනවා. ඒ වගේම අධිකරණ ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම කටයුතු කරන ආයතනික සංවිධාන කිහිපයකින් ලිඛිතව මේ සම්බන්ධයෙන් මට කරුණු දක්වලා තිබෙනවා. පසුගිය දිනවල පත්කරන ලද විනිශ්චයකාර ධූරයක් පිළිබඳව. මහාධිකරණ විනිශ්චයකාර ධූරයක් සම්බන්ධව. මම ජනාධිපති ධූරයට පත්වුණාට පසුව මම දන්නා පරිදි මමත් අග්‍රවිනිශ්චයකාරතුමත් එකම කාලයක තමයි පත්වුණේ. 2015 එකම මාසේ. මගේ මතකයේ හැටියට විනිශ්චයකාරතුමාලා 21 දෙනෙකුට පත්වීම් 21 ක් දීලා තිබෙනවා කියලායි මගේ මතකයේ තිබෙන්නේ.

මහාධිකරණයේ විනිශ්චයකාරධූරවල පුරප්පාඩු ඇතිවූ විට පසුගිය දිනවල ශ්‍රී ලංකා නීතිඥ සංගමය ලිඛිතව මගෙන් ඉල්ලීමක් කළා. විශේෂයෙන්ම දෙමළ භාෂාව කතාකරන විනිශ්චයකාරතුමාලාගේ අඩුවක් තිබෙනවා නීතිඥ සංගමය ඉල්ලීමක් විදියට පත්කිරීමක් කරන්න කියලා. එවැනි ඉල්ලීම් මට ආවත් සංගමයක් විදියටත් පෞද්ගලිකව යම් යම් අය මගෙන් ඉල්ලීම් කළත් විනිශ්චයකාරතුමන්ලා පත්කිරීම සම්බන්ධයෙන්. ඒ කිසියම්ම අවස්ථාවක තනි තීන්දුවක් මගේ අභිමතය තුළ මම අරගෙන නැහැ. අරගන්නෙත් නැහැ. එවැනි නමක් යෝජනා වූ විට ඒ සෑම නමක්ම නෙවෙයි. නමුත් එක් නමක් සම්බන්ධයෙන් වැඩි ඉල්ලීමක් තිබෙනවා නම් ඒ ඉල්ලීම අදාළ අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළ අංශ වලට මම යොමුකරනවා ඒ පත්වීම දීමට පෙර අදාළ නිරීක්ෂණ සදහා. ඒ අනුව ශ්‍රී ලංකා නිතිඥ සංගමය මට ඉදිරිපත් කළ නම පිළිබදව මම මුලින්ම ජනාධිපති ලේකම්ට උපදෙස් දුන්නා ඒ ඉල්ලීම ඉටුකළ නොහැකියි කියා නීතිඥ සංගමයට දන්වන්න කියලා.

ඒ අනුව ලිඛිතව ජනාධිපති ලේකම්වරයා නීතිඥ සංගමයට දැන්වුවා එම ඉල්ලීම ඉටුකළ නොහැකියි කියා. ඉන්පසුව ශ්‍රීලංකා නීතිඥ සංගමයේ සභාපතිතුමා සහ නියෝජිත පිරිසක් මාව හමුවෙලා මගෙන් ඉල්ලීමක් කළා. මේක නීතිඥ සංගමයෙන් කරන ඉල්ලීමක් මේක අහක දාන්න එපා. මේක කොහොමහරි ඉටුකරලා දෙන්න කියලා. ඉන්පසුව තමයි මම ඒ නමත් එක්ක අනෙක් පත්කරපු විනිශ්වයකාරතුමන්ලා ඔක්කොම පස් දෙනෙක් ඒ සියලූම නම් ඇරියා අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතන වලට.

ඒ ආයතන වල නිරීක්ෂණ අනුව අනුමැතිය ලැබීමෙන් පසුව තමයි මම ඒ පත්වීම දුන්නේ. ඒ නිසා මම පැහැදිලිව කියන්නට ඕනෑ මගේ පෞද්ගලික අභිමතාර්ථය තුළ මම කළ කටයුත්තක් නෙවෙයි මේ පත්වීම සම්බන්ධයෙන් බොහෝ විවේචන ඇවිත් තියෙනවා. ඒ අතර මුළු සමාජයම දකින කාරණයක් විදියට ඒ පත්වීම ලබාගත් විනිශ්චයකාරතුමා නීතිඥවරයෙක් විදියට සේවය කළ ඒ අධිකරණ කොට්ඨාශයේම, ඒ උසාවියේම ඒ පත්වීම දීලා තියෙන්නේ කියන කාරණාව. මම මෙහිදී කියන්නට ඕනෑ ඒ පිළිබදව එන විවේචන වල සාධාරණයක් තිබෙනවා කියලයි. මට පෙනී යන කාරණය. ඒක නිසා මේ කාරණාව කිව්වේ මේ සියලූ කටයුතු වලදී විවෘත භාවයකින් කටයුතු කරන කෙනෙක්. ජනාධිපතිවරයා විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයෙන් ජනාධිපති ධූරයේ බලතල යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට අනෙකුත් ස්වාධීන කොම්ෂන් සභා සහ ආයතන වලට පැවරුණත් ඉන් පසුව දැනට ඉතිරිවී තිබෙන බලතලත් මම කිසිවිටෙකත් තනියම මගේ තනිමතයට තීන්දු තීරණ ගෙන කටයුතු කරන්නේ නැහැ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top