ප්‍රමුඛ පුවත 1

“සත්‍යයට වඩා වේගයෙන් අසත්‍යය පැතිර යන බැවින් මාතෘභූමියට එරෙහි බොරු ප‍්‍රචාරයන්ට රැවටෙන්න එපා” – ජනපති

(උදයම්, කොළඹ) – බලයේ සිටි පිරිස නැවත බලයට ගෙන ඒමට අවශ්‍යව ඇතැමුන් මාතෘ භූමියට එරෙහිව විවිධ අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සිටින බව ජනාධිපතිතුමා පවසයි.

සත්‍යයට වඩා වේගයෙන් අසත්‍යය පැතිර යන බැවින් එම බොරු ප‍්‍රචාරයන්ට නොරැවටෙන ලෙස තමා ලොව පුරා සිටින සියලු ශී‍්‍ර ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (25) පස්වරුවේ කැන්බරා නුවර දී ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකිකයින් සමග හමුවකට එක්වෙමිනි. වෘත්තිකයින්, ව්‍යාපාරික ප‍්‍රජාව, විශ්ව විද්‍යාල සිසුන් ඇතුළු විවිධ ක්ෂේත‍්‍රවල කටයුතු කරන ශී‍්‍ර ලාංකිකයින් මෙම හමුවට එක්ව සිටියහ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ නව ආණ්ඩුවක් බලයට පත්කර ගනිමින් ශී‍්‍ර ලාංකීය ජනතාව තැබූ අපේක්ෂා උපරිමයෙන් මල්ඵල ගැන්වීමට තම රජය කැපවී සිටින බවයි.

නව රජය බලයට පත් කර ගනිමින් රටේ ජනතාව අපේක්ෂා කළේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බව ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා රට තුළ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට රජය කැපවී සිටින බව කියා සිටියේය.

එමෙන්ම රටේ ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීම උදෙසා පැහැදිළි සංවර්ධන වැඩපිළිවෙළක් මෙන්ම රටේ සියලු ජනතාව අතර සංහිඳියාව තහවුරු කරමින් යළි රට තුළ යුද්ධයක් ඇති නොවන සේ ස්ථීර සාර සාමයක් ගොඩනැගීමට ද රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපතිතුමා පැවසීය.

මේ අතරතුර අන්තවාදී පිරිස් මාතෘ භූමියට එරෙහිව විවිධ අසත්‍ය ප‍්‍රචාරයන් පතුරවමින් සිටින අතර ඔවුන්ගේ අපේක්ෂාව පවතින රජය අප‍්‍රසාදයට පත් කිරීමත්, බලය අහිමිවූවන් නැවත බලයට ගෙන ඒමත් බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

සාමය ඇතිකිරීම සඳහා රජය සෑම තීන්දු තීරණයක්ම ගන්නා අතර කුමන පක්ෂයකට, ආගමකට හෝ ජාතියකට අයත් වුවද සාමය කඩ කරන්නන් වෙනුවෙන් අවශ්‍ය නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට රජය පසුබට නොවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

කුමන අභියෝග හමුවේ වුවද ජනතාව වෙනුවෙන් වූ රජයේ ගමන ඉදිරියටම යන බවද ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මාතෘ භූමියට ආදරය කරන සියලු ශී‍්‍ර ලාංකික පුරවැසියන්ගේ සහය ඊට අපේක්ෂා කරන බව කියා සිටියේය.

ශී‍්‍ර ලංකා රාජ්‍ය නායකයෙකුට ඔස්ටේ‍්‍රලියා රජයෙන් රාජ්‍ය සංචාරයක් සඳහා ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය තමා වෙත හිමිවීම පිළිබඳ මෙහිදී සිය සතුට පළ කළ ජනාධිපතිතුමා මෙම ආරාධනය හිමිවූයේ පසුගිය වසර දෙක හමාර තුළ තම රජයේ පැහැදිළි වැඩපිළිවෙළ නිසා බවද කියා සිටියේය.

අද ශී‍්‍ර ලංකාවට කිසිඳු සතුරු රාජ්‍යයක් නොමැති අතර ලොව ප‍්‍රබල රටවල සිට සියලු රටවල සහය ශී‍්‍ර ලංකාවට හිමිව තිබෙන බවත්, සිය ඔස්ටේ‍්‍රලියා රාජ්‍ය සංචාරය ද නිම කරමින් තමා නැවත මාතෘ භූමියට යන්නේ රටත්, ජනතාවත් වෙනුවෙන් වූ වටිනා තෑගි භෝග රැසක් සමගින් බව ද කියා සිටියේය.

මෙම හමුවට එක්වූ ජනාධිපතිතුමා ශ‍්‍රී ලාංකිකයින් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top