ප්‍රමුඛ පුවත 1

මෙරට කෘෂි ,අධ්‍යාපන ක්ෂේත්‍ර නගා සිටුවීමට ඕස්ට්‍රේලියාවේ සහය

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පවතින සබඳතාවන් වැඩි දියුණු කරගත යුත්තේ ආර්ථික සංස්කෘතික ජාතික අධ්‍යාපනය හා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයන් නගා සිටුවිමෙන් බව වික්ටෝරියා ප්‍රාන්ත කුඩා ව්‍යාපාර, නවෝත්පාදන සහ වෙළඳ අමාත්‍ය ෆිලිප් ඩෙලඩකිස් මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ ආයෝජන සහ ව්‍යාපාර සඳහා සම්බන්ධ වීමට උනන්දුවක් දක්වන ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත ව්‍යවසායකයන් සමඟ දිවාභෝජන හමුවකට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ෆිලිප් ඩෙලඩකිස් මහතා සහභාගි වූ අවස්ථා‍වේ දි ඒ මහතා මේ බව ප්‍රකාශකර සිටියේය.

රට එක්සේත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර නිසා ආර්ථික අභියෝගයන් ඉතා පහසුවෙන් ජයගත හැකි පරිසරයක් උදාවී ඇති බව හා වෙළෙඳ කටයුතු සඳහා කොළඹ වරාය ඉතා වැදගත් සංධිස්ථානයක් උසුලමින් පවතින පසුබිමක, මෙයින් ප්‍රයෝජන ගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය ඉදිරිපත් වීමට අග්‍රමාත්‍යවරයාගේ මෙම සංචාරය ඉවහල් වූ බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය වඩ වඩාත් ඉහළ මට්ටමට ඔසවා තැබීමට උපරිම සහයෝගය ලබා දෙන බවට ඩෙලඩකිස් මහතා පැවසු අදහසට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාවේ දූ දරුවන්ට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා එංගලන්තය හා ඇමරිකාව වැනි රටවල් ආගමන විගමන නීති පුළුල් කර ඇති බවත් ඔස්ට්‍රේලියාවෙන් ද එම අවස්ථාව බලාපොරොත්තු වන බවත්ය.

ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට හැකි සියළුම පියවරයන් ගෙන ඇති බවත් ඉන්දියන් සාගරයේ මුතු ඇටයක් වන ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ආර්ථිකයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම තම අරමුණ බව පැවසු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා තවත් සහයෝගය ලබා ගැනීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තය සමඟ සාකච්ඡා අරඹන මෙන් ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් හා ඔස්ටේලියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දොර විවර කර ඇති බැවින් ලංකාවේ ආයෝජනය කිරීමට ඔස්ට්‍රේලියාවේ අයෝජකයන්ව පෙළඹවීමට තමන් පියවර ගන්නා බවත් රටවල් දෙක එක්ව වැඩ කරනවා නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවත් සුළු ව්‍යාපාර, නවෝත්පාදන හා වෙළෙද අමාත්‍ය පිලිප් ඩෙලඩකිස් මහතා වැඩිදුරටත් පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top