දේශීය

මෙරටදී වසර 06ක් දුක්වින්ඳ විදේශිකයින් 30 දෙනාට නිදහස

වසර 06ක් රඳවා සිටි අප්‍රිකානු ජාතිකයන් 30 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කර තිබේ.

 

එම සැකකරුවන්ට එරෙහිව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව උපදෙස් ලබාදෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිපතිවරයාගෙන් විමසීමක් කර ඇති අතර ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයාගෙන් ලැබී තිබූ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර තිබුණි.

 

මූල්‍ය වංචා සිද්ධීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම අප්‍රිකානු ජාතිකයන් 30 දෙනා සැකපිට අත්අඩංගුවට ගෙන වැලිසර විදේශ රැඳවුම් කඳවුරක රඳවා තිබුණි.

 

මෙම සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබූ ඔවුන්ගේ බඩුබාහිරාදිය ඔවුන්ට නැවත ලබාදෙන ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙසටද නියෝග කළේය.

 

කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවලදී මෙම සැකකරුවන් පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් වසර 06කට අධික කාලයක් වැලිසර විදේශ රැඳවුම් කඳවුරක ඔවුන් රඳවා සිටි නමුත් ඔවුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් චෝදනා ගොනුකර නොමැති බවද එය ඔවුන්ට කළ අසාධාරණයක් බවද සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටී නීතිඥ ශෂී ගුණවර්ධන මහත්මිය අධිකරණයට පෙන්වාදී තිබේ.

 

මෙම සැකකරුවන්ගේ ආහාර වෙනුවෙන් මසකට රුපියල් ලක්ෂ 20ට අධික මුදලක් රජය වැයකර ඇති බවද ඇය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වාදී ඇත.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රිකානු ජාතික සැකකරුවන් 34 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් 2018 වසරේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් සිව් දෙනකුට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව උපදෙස් ලබා ලබාදී තිබුණි.

 

ඒ අනුව ලබන වසරේ මැයි මස 16 වන දින එම සැකකරුවන් සිව් දෙනාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

 

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ අසංක පෙරේරා මහතා ද පෙනී සිට ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top