දේශීය

මැතිවරණයට බාධා – කොමිසම අධිකරණයට දැනුම්දෙයි

ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන නොලැබීම හා රජයේ මුද්‍රණාලය විසින් මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා ලබානොදීම හේතුවෙන් මීට පෙර අධිකරණයට ලබාදුන් ප්‍රතිඥාව පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දුනි.

 

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා දයාසිරි ජයසේකර, ලක්ෂ්මන් කිරිඇල්ල, අනුර ප්‍රියදර්ශන යාපා සහ එම්. ඒ. සුමන්දිරන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ගොනුකළ පෙත්සමට අදාළව මෝසමක් ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් මෙම දැනුම්දීම කර තිබේ.

 

නීතිඥ යොහාන් පීරිස් මහතා මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙන එම මෝසම මගින් මැතිවරණ කොමිසම සඳහන් කර ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම පවතින නීතියට අනුකූලව පැවැත්වීමට පියවර ගන්නා බවට තමන් ජනවාරි 18 වනදා සහ පෙබරවාරි 10 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදුන් බවය.

 

එහෙත් මැතිවරණ කොමිසමට පාලනය කළ නොහැකි ගැටලුකාරී තත්ත්වයන් කිහිපයක් උද්ගතවීම නිසා එම ප්‍රතිඥාව නිසි පරිදි ඉටු කිරීමට බාධා පැමිණ තිබෙන බව ද එම මෝසමේ සඳහන් කර තිබේ.

 

ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා මැතිවරණ පැවැත්වීම අත්‍යවශ්‍ය කරුණක් බවත් මැතිවරණ කොමිසම පෙන්වා දෙයි.

 

එහෙත් පළාත් පාලන ඡන්ද විමසීම සංවිධානය කොට පවත්වාගෙනයාම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදානොහැරීම හේතුවෙන් එම කටයුතුවලට බාධා පැමිණ තිබෙන බවත් අදාළ මෝසමේ සඳහන් කර තිබේ.

 

එමෙන්ම රුපියල් මිලියන 410.6 ක මුදලක් ගෙවන තුරු මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා මුදාහැරිය නොහැකි බවට රජයේ මුද්‍රණාලාධිපතිනිය දැනුම්දී තිබෙන බවත් එය මීට පෙර පැවති මැතිවරණවලදී රජයේ මුද්‍රණාලය අනුගමනය කළ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය නොවන බවත් එම මෝසමේ සඳහන්ව තිබේ.

 

පොලිස්පතිවරයාද ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මුදාහරින ලෙස ඉල්ලීම් කර තිබුණි.

 

එමෙන්ම මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා වාහනවලට ලබාදෙන ඉන්ධන පංගුව වැඩිකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කළත් එම ඉල්ලීමද මෙතෙක් ඉටු වී නොමැති බව මැතිවරණ කොමිසම සිය මෝසමෙන් කියා සිටියේය.

 

එබැවින් පළාත් පාලන ඡන්ද විමසීම නීතියට අනුකූලව පැවැත්වීම සඳහා සහාය වන ලෙස මුදල් අමාත්‍යාශයේ ලේකම්වරයා, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලාධිපති, පොලිස්පතිවරයා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා යන රාජ්‍ය ආයතනවලින් ඉල්ලීම්කර තිබෙන බවත් මැතිවරණ කොමිසම සිය මෝසමෙන් සඳහන් කර තිබුණි.

 

එබැවින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබානොදීම නිසාත් රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණයට අවශ්‍ය ඡන්ද පත්‍රිකා මුදාහැරීම ප්‍රතික්ෂේප කිරීමත් නිසා මීට පෙර තමන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රතිඥා ලබාදුන් පරිදි නීතියට අනුකූලව පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමේ කටයුතුවලට බාධා පැමිණ තිබෙන බවත් මැතිවරණ කොමිසම සිය මෝසමෙන් වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

 

එබැවින් හදිසි කටයුත්තක් සේ සලකා මෙම මෝසම 20, 21 හෝ 23 යන දිනවල විවෘත අධිකරණයේදී කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙස ද මැතිවරණ කොමිසම සිය මෝසම තුළින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top