ප්‍රමුඛ පුවත 1

පානදුර වලානේ පොලිස් නිලධාරිනිය මරා ගිනි තියලා ! – පෙම්වතා රිමාන්ඞ්

UTV | COLOMBO – පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ සේවයේ නියුතුව සිටි 23 හැවිරිදි පොලිස් නිලධාරිනියක කපා කොටා ඝාතනය කර සිරුරට ගිනි තැබූ බව කියන ඇයගේ පෙම්වතා වන තුසිත නන්දන යන අය ලබන 16 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල අතිරේක මහෙස්ත‍්‍රාත් ඒ. ජිනදාස මහතා ඊයේ  (02වැනිදා) නියෝග කළේය.

මෙසේ ඝාතනයට ලක්‌ව ඇත්තේ බදුල්ල හාලිඇල කැටවල පදිංචිව සිටි 23 හැවිරිදි චන්දිමා ප්‍රියදර්ශනී නමැති පොලිස්‌ නිලධාරිනියක බව පොලිසිය පවසයි.

චන්දිමා සහ සැකකාර නන්දන නමැත්තා අතර කාලයක පටන් පැවැති ආරවුල් කිහිපයක්‌ මෙම ඝාතනයට හේතුවී ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

මෙම ඝාතනයේ සැකකරු වන තුසිත නන්දන නමැත්තා හාලිඇල ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවය කරමින් සිටින අයෙකි.

චන්දිමා සහ සැකකරු කාලයක පටන් පෙම්වතුන් ලෙස ඇසුරු කළ අතර ඔවුන්ගේ විවාහයට දෙපාර්ශ්වයේම වැඩිහිටියන්ගේ ආශිර්වාදයද ලැබී තිබුණි. චන්දිමා පොලිස්‌ සේවයට එක්‌වීම පිළිබඳව තුසිත නන්දන මහතා දැඩි විරෝධය පළකර තිබූ අතර ඔවුන් අතර ආරවුල් හට ගැනීමට එයද ප්‍රධාන හේතුවක්‌ වූ බව අනාවරණය වී ඇත.

චන්දිමා මීට වසරකට පෙර පොලිස්‌ අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලැබූ අතර වලාන දූෂණ මර්දන ඒකකයට ඇයට මුල්ම පත්වීම ලැබී තිබුණේ මීට මාස තුනකට උඩදීය. මාස තුනක කාලයක්‌ එකදිගට දූෂණ මර්දන ඒකකයේ රාජකාරි කළ ඇය මුල්ම නිවාඩුව ලබා හාලිඇල පිහිටි නිවසට පැමිණ සිටියදී මෙසේ ඝාතනයට ලක්‌ව ඇති බව පොලිසිය පවසයි.

චන්දිමාගේ මව ඇය කුඩා කාලයේදීම සැමියාගෙන් වෙන්වී වෙනත් විවාහයක්‌ කරගෙන ඇති අතර ඇය හැදී වැඩී ඇත්තේ තම මිත්තනියගේ සෙවනේදීය. ඝාතනයට ලක්‌වන විට චන්දිමා සිය මිත්තනිය හා නැන්දණිය සමඟ හාලිඇල කැටවල නිවසේ පදිංචිව සිටියාය.

පෙරේදා (01 වැනිදා) දහවල් යාබද ඥති නිවසක දානමය පිංකමක්‌ පැවැති අතර චන්දිමා සහ මිත්තනියද ඊට සහභාගි වී ඇත. සිය පෙම්වතාට දිවා ආහාරය සහිත පාර්සලයක්‌ රැගෙන ඇය තනියම නිවසට පැමිණ ඇත.

පසුව පෙම්වතාට දුරකථන ඇමතුමක්‌ ලබාදී දිවා ආහාරය රැගෙන යැමට නිවසට පැමිණෙන ලෙස ඇරයුම් කර තිබේ. නන්දන නමැත්තා හාලිඇල ප්‍රදේශයේ රජයේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිට ඇති අතර චන්දිමාගේ ඇරයුම මත ඔහු එදින දහවල් ඇගේ නිවසට පැමිණ ඇත. ඒ අවස්‌ථාව වනවිට චන්දිමා තනිවම නිවසේ සිට ඇති අතර ඔවුන් අතර කිසියම් බහින් බස්‌ වීමක්‌ ඇතිව තිබූ බව විමර්ශන වලින් හෙළිවිය.

සැකකාර නන්දන නමැත්තා සිය පෙම්වතිය වන චන්දිමා ඝාතනය කිරීම සඳහා කල් තියාම පිහියක්‌ හා සිරුරට ගිනි තැබීමට පෙට්‍රල් බෝතලයක්‌ද රැගෙන ආ බව පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. ඔවුන් දෙදෙනා අතර ඇතිවූ බහින් බස්‌ වීමකින් පසුව චන්දිමාගේ කාමරයේදීම සැකකරු ඇයට පහරදී කපාකොටා ඝාතනය කර පසුව ඇගේ සිරුරට පෙට්‍රල් වත්කර ගිනි තබා පලාගොස්‌ තිබේ.

මෙම ඝාතනය සැලවීමත් සමඟම ක්‍රියාත්මක වූ හාලිඇල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රියන්ත චන්ද්‍රසේකර මහතා ඇතුළු නිලධාරීන් පැය 24 ක්‌ ගතවීමට පෙර ඝාතනයේ සුලමුල අනාවරණය කරගෙන එහි ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගන්නා ලදී. බදුල්ල කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි වසන්ත කන්දෙවත්ත, සහකාර පොලිස්‌ අධිකාරි රොෂාන් රාජරත්න යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත හාලිඇල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රියන්ත චන්ද්‍රසේකර මහතා ඇතුළු නිලධාරීන් පරීක්‍ෂණ පැවැත්වූහ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top