ප්‍රමුඛ පුවත 1

දෙරටේ ආර්ථික,වෙළෙද,දේශපාලන සබඳතා තවදුරටත් ශක්තිමත් කරන බවට රුසියානු ජනපතිගෙන් පොරොන්දු

(උදයම්,රුසියාව) – දශක හතරකට පසුව ශී‍්‍ර ලංකා ජනාධිපතිවරයෙකුට රුසියාවේ නිල සංචාරයක් සදහා ආරාධනා ලැබුණු පළමු අවස්ථාව සනිටුහන් කරමින් රුසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා අතර නිල හමුව ඊයේ(23) පස්වරුවේ සිදු විය.

රුසියානු ජනාධිපතිවරයාගේ නිල මන්දිරය වන ක්‍රෙම්ලින් මන්දිරය වෙත පැමිණි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

උණුසුම් පිළිගැනීමකින් අනතුරුව දර්ශනීය පෙරහැරකින් ව්ලැඞ්මීර් පුටින් මහතා විසින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ක්‍රෙම්ලින් මන්දිරය වෙත කැදවාගෙන යනු ලැබීය.

රාජ්‍ය නායක දෙපළ අතර පැවති සුහද කථා බහෙන් අනතුරුව ද්වි පාර්ශවික සාකච්ජා ආරම්භ කෙරිණි.

ශ‍්‍රී ලංකා- රුසියානු ද්වි පාර්ශ්වික සබදතාවලට 60 වසරක් සපිරෙන මෙම අවස්ථාවේ සිදුවූ මෙම හමුව පිළිබද මෙහිදී සිය සතුට පළ කළ රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මහතා දෙරටේ ආර්ථික, වෙළෙද මෙන්ම දේශපාලන සබදතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව ප‍්‍රකාශ කළේය.

එමෙන්ම ශී‍්‍ර ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

තම ආරාධනය පිළිගෙන රුසියාවේ නිල සංචාරයක නිරතවීම පිළිබදව ව්ලැඞ්මීර් පුටින් මහතා මෙහිදී ජනාධිපතිතුමා වෙත සිය ස්තූතිය පළ කළේය.

ගෝවා සමුළුවේදී කෙටි වේලාවක් තුළ ගොඩනැගුණු මිත‍්‍රත්වය මත මෙවන් නිල ආරාධනයක් සිදු කිරීම පිළිබද මෙහිදී රුසියානු ජනාධිපතිවරයා වෙත තම ස්තූතිය පළ කළ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ලොව බලවත් නායකයෙකුගෙන් හිමි වූ මෙම කුළුපග මිත‍්‍රශීලීත්වය පිළිබද තමා ඉතා ආඩම්බරවන බවත්, මෙම ආරාධනය දෙරටේ සබදතා ශක්තිමත් කර ගැනීමට ලැබුණු අනර්ඝතම අවස්ථාවක් ලෙස සළකන බවත් කියා සිටියේය.

ශී‍්‍ර ලංකා – රුසියා සබදතා ආරම්භ වූයේ තම පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමාගේ මූලිකත්වයෙන් වන අතර එම සබදතා තවදුරටත් ශක්තිමත් කරගනිමින් ඉදිරියට ගෙන යාම තම වගකීමක් ද වන බව ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය.

මීට දශක 04 කට පෙර තමා රුසියාවට පැමිණි අවස්ථාව ද මෙහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් යුතුව සිහිපත් කළේය.ශී‍්‍ර ලංකාව සහ රුසියාව අතර ද්වි පාර්ශවික සබදතා සවිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 04 කට ද අද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබේ.

රුසියාව සහ ශී‍්‍ර ලංකාව අතර ධීවර සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමකට, තාක්ෂණික සහයෝගිතා අවබෝධතා ගිවිසුමකට, සංස්කෘතික කටයුතු පිළිබද අවබෝධතා ගිවිසුමකට සහ සංචාරක කටයුතු පිළිබද අවබෝධතා ගිවිසුමකට මේ අනුව අත්සන් තැබෙනු ඇත.අමාත්‍යවරුන්වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් පේ‍්‍රමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප‍්‍රනාන්දු යන මහත්වරුන් ද ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටී.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top