ප්‍රමුඛ පුවත 1

දුෂණ, වංචා සහ හොරකම් සිදුකරන දේශපාලනඥයින්ට ජනපතිගෙන් දැඩි උපදෙස්

(උදයම්,කොළඹ)  – අවංක, කි‍්‍රයාශීලි සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් අද මේ රටේ තරුණ පරපුරේ මෙන්ම සමස්ත පොදු මහ ජනතාවගේ දේශපාලන පිපාසය බවට පත්ව ඇති බව පැවසූ ජනාධිපතිතුමා දුෂණ, වංචා සහ හොරකම් සිදු කරමින් රටේ රාජ්‍ය සම්පත් හා මහජනතාවගේ දේපළ අනිසි ලෙස භාවිතා කර සාක්කු පුරවා ගැනීමට යම් දේශපාලනඥයෙක් උත්සාහ කරනවානම් ඔහු කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවද ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට තමා කිසිසේත් පසුබට නොවන බව අවධාරණය කළේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ඊයේ (02) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගනයේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව අමතමිනි.

‘විසදුමට ජවයක්’ තේමාව යටතේ දිවයිනම ආවරණය වන පරිදි තරුණ තරුණියන් 12,000 ගේ පමණ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් තරුණ සමුළුව පැවැත්විණි. 2004 වසරෙන් පසුව වසර 13 කට පසු මෙම සමුළුව පැවැත්වීම සුවිශේෂී වන අතර මෙතෙක් කාලයක් තම ගැටලූ ඉදිරිපත් කළ තරුණ ප‍්‍රජාව මෙවර ගැටලූවලට විසදුම් හා යෝජනා රැුගෙන සමුළුවට එක්වීම ද විශේෂත්වයකි. තරුණ සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අවංක සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත පෙරට එන බව තරුණ ජවය සමග මුසු වූ මෙම සමුළුව තුළින් මනාව පිළිඹිඹු වන බවයි.තමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය භාර ගත්තේ තම පවුලේ කිසිවෙකුට ඔටුනු පැළදවීමට නොව රටේ සමස්ත තරුණ පරපුර සහ පොදු ජනතාව වෙනුවෙන් සුබදායී අනාගතයක් ගොඩනගාදීමට පක්ෂය ශක්තිමත් කිරීමට බව ද පැවසූ ජනාධිපතිතුමා අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කරමින් නව වැඩපිළිවෙළක් ඔස්සේ ඉදිරියට ගෙන යන බව ද කියා සිටියේය.

නමුත් පක්ෂයේ ගමන් මග වෙනුවෙන් විවිධ බාධා එල්ලවන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තමාට පක්ෂයේ සභාපතිත්වය භාර ගැනීමට ආරාධනා කළානම් පක්ෂය ඉදිරියට කරගෙන යාමට ඉඩ ලබාදිය යුතු බවද කියා සිටියේය.අද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ගම මෙන්ම නගරය තුළ ද සියලූදෙනාට එක ලෙස විවෘත බව පැවසූ ජනාධිපතිතුමා පළාත් පාලන මැතිවරණය මෙම වර්ෂය තුළ පැවැත්වීමට හැකිවනු ඇති බවත් එම මැතිවරණයේදී අපේක්ෂකයින් ජයග‍්‍රහණය කිරීමට නොව අපේක්ෂකයින් වී පක්ෂය ජයග‍්‍රාහී ලෙස ඉදිරියට ගෙන යාමට ඉදිරියට පැමිණෙන ලෙස තමා තරුණ පරපුරට ආරාධනා කරන බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය විසින් අමතක කර දමා තිබූ තාරුණ්‍යය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම මත නැවතත් ඔපදමා රටේ අනාගතයට සූදානම් කිරීම වෙනුවෙන් මෙහිදී තරුණ තරුණියන්ගේ කෘතවේදීත්වය ජනාධිපතිතුමා වෙත පිරිනැමිණි.

ශී‍්‍ර ලංකා නිදහස් තරුණ පෙරමුණේ ප‍්‍රතිසංවිධාන වාර්තාව ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.’විසදුම’ ග‍්‍රන්ථය සහ ‘නිදහස්’ පුවත්පතේ පළමු පිටපත ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ජාතික මහා සමුළුව නිමිත්තෙන් නිකුත් කළ සමරු කලාපය ද පිළිගැන්විණි.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ නිල වෙබ් අඩිවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනී.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top