ප්‍රමුඛ පුවත 1

ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ඕනෑම සහයක් ලබාදෙන බවට චීන ජනපතිගෙන් සහතිකයක්

(UTV| කොළඹ) – ත‍්‍රස්තවාදය ශ‍්‍රී ලංකාවෙන් මුලිනුපුටා දමා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ශ‍්‍රී ලංකාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදෙන බව චීන ජනාධිපති ෂි ජින්පින් මහතා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත සහතික වෙයි.

චීනයේ එක් දින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ චීන ජනාධිපතිතුමා අතර නිල හමුව  (14) පස්වරුවේ චීන ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී මේ බව අවධාරණය කෙරිණි.

මේ අතර ශ‍්‍රී ලංකාව තුළ මතුවූ මෙම හදිසි තත්ත්වය හමුවේ ආරක්ෂක අංශවල කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි රුපියල් කෝට් 260ක මූල්‍ය පරිත්‍යාගයක් ලබාදීමට ද චීන රජය පියවර ගෙන ඇත.

එමෙන්ම ශී‍්‍ර ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා රුපියල් කෝට් 150ක් වටිනා ජීප් රථ 100ක් ඇතුළු පහසුකම් වහාම ශ‍්‍රී ලංකාවට ලබාදීමට ද චීන ජනාධිපතිවරයා එකඟතාවය පළ කර තිබේ.

මේ අතර දෙරටේ ආරක්ෂක අංශවල සහයෝගීතාව වෙනුවෙන් නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම ද මෙම රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව සිදු විය.

ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා චීන ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා චීන ජනාධිපති ෂී ජින්පින් මහතා විසින් ඉතා සුහදශීලිව පිළිගනු ලැබීය.

චීන ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේ ලොව කොතැනක වුව ද ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය තමා දැඩි ලෙස හෙළා දකින බවයි. අපේ‍්‍රල් 21 වනදා ශී‍්‍ර ලංකාවේ සිදුවූ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ මෙහිදී සිය බලවත් අප‍්‍රසාදය පළ කළ චීන ජනාධිපතිවරයා එහිදී අසීරුතාවයට පත්වූ සියලු ශ‍්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සිය කණගාටුව පළ කළේය.

ත‍්‍රස්ත අභියෝගය ජය ගනිමින් යළි නැඟී සිටින ශ‍්‍රී ලංකාව සමඟ චීන රජය සෑමවිටම අත්වැල් බැඳගෙන සිටින බව මෙහිදී අවධාරණය කළ චීන ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් ඕනෑම අවස්ථාවක ඕනෑම සහයක් උපරිම ලෙස ලබාදීමට කටයුතු කරන බව ද කියා සිටියේය.

අපේ‍්‍රල් 21 වනදා සිදුවීම සහ එහිදී ගත් පියවර මෙන්ම ශ‍්‍රී ලංකාවේ නව ආරක්ෂක වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා චීන ජනාධිපතිතුමා සමඟ විශේෂ කරුණු රැසක් සාකච්ඡා කරන ලදී.

දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගිතා වැඩපිළිවෙළ ශක්තිමත් කර ගැනීම සහ බුද්ධි අංශ අතර තොරතුරු හුවමාරු වැඩසටහන් පුළුල් කර ගැනීම පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් කෙරිණි.

එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ ත‍්‍රස්තවාදය මැඩලීමේ දී මෙන්ම අන්තර්ජාල සහ සමාජ වෙබ් අඩවි හරහා අසත්‍ය ප‍්‍රචාර පතුරවමින් සැඟවී සිට ත‍්‍රස්තවාදය වපුරන පිරිස් සහ අපරාධ සිදු කරන්නන් හඳුනාගැනීමටත්, එම අපරාධ වළක්වා ගැනීම වෙනුවෙනුත් අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ දැනුම ශී‍්‍ර ලංකාවට නොමැති බවයි.

එම උපකරණ සහ තාක්ෂණය ශ‍්‍රී ලංකාවට ලබාගැනීම සඳහා කඩිනම් සහය ලබාදීමට මෙහිදී එකඟතාවය පළ කළ චීන ජනාධිපතිවරයා ඒ පිළිබඳ සොයා බැලීමට චීන තාක්ෂණික කණ්ඩායමක් ශ‍්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ද කියා සිටියේ ය.

චීන ණය ආධාර මත ශ‍්‍රී ලංකාවේ කි‍්‍රයාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප‍්‍රගතිය පිළිබඳව ද මෙහිදී නායක දෙපළ සාකච්ඡා කළ අතර එම සංවර්ධන ව්‍යාපෘති බොහොමයක කටයුතු කඩිනමින් නිමා කිරීම තම අපේක්ෂාව බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම චීන ආධාර යටතේ පොළොන්නරුවේ ඉදිකෙරෙමින් පවතින වකුගඩු රෝහලේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

ශ‍්‍රී ලංකාව සෑමවිටම අවංක මිතුරෙකු ලෙස චීනයට ලබාදෙන සහය ද මෙහිදී චීන ජනාධිපතිවරයාගේ විශේෂ පැසසුමට ලක් කෙරිණි.

එමෙන්ම මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා දියත් කළ වැඩපිළිවෙළ පිළිබඳව ද සිහිපත් කළ චීන ජනාධිපතිවරයා එම අභියෝගය ද ජය ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව පවතින බවට විශ්වාසය පළ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top