දේශීය

ජනපතිගේ මැයි දින පණිවුඩ

(UTV | කොළඹ) – මේ මොහොතේ අප කළ යුතු වන්නේ, ජනතාවට කඩිනමින් සහන සැලසිය හැකි වැඩපිළිවෙළ පිළිබඳ අවධානය යොමු කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

රාජ්‍ය නායකයා ලෙස ජනතාවගේ පාර්ශවයේ සිට සියලු දේශපාලන පක්ෂවල නායකයින්ට එක්ව කටයුතු කිරීමට ආරාධනා කළේ ජනතාවට වඩා යහපත් අනාගතයක් උදා කිරීමේ වගකීම ඇතිව බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

සියලු දෙනා එක්ව පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයින්ට තමන් නැවතත් ආරාධනා කරන බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කරනවා.

දේශපාලනය පසෙක තබා අරගලය ජනහිතකාමී සුබ දිශානතියකට යොමු කිරීමට එක්වන ලෙසයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කම්කරු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂද මැයි දින පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කරන්නේ, රට හමුවේ ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට නම් සියලු දෙනා එක්ව අත්වැල් බැඳගෙන අභියෝග ජයගත යුතු බවයි.

ආර්ථික අර්බුදය කළමනාකරණය කර ගැනීමට දැනට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, අවසන් ඉලක්කය සුබවාදී රටක් නිර්මාණය කිරීම බවයි අග්‍රාමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර, පවතින ආර්ථික අර්බුදය හමුවේ වූවද රට තුළ සාමය පවත්වාගෙන යමින් රට ඉදිරියට ගෙන යෑමට කැපවන වැඩ කරන ජනතාවට කෘතවේදීත්වය පළ කරන බව කම්කරු අමාත්‍ය විදුර වික්‍රමනායක සිය නිවේදනයෙන් ප්‍රකාශ කළා.

නිදහසින් පසු ශ්‍රී ලංකාව මුහුණදෙන අර්බුදකාරීම සහ ඛේදජනකම කම්කරු දිනය මෙය බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය මැයි දින පණිවුඩය මගින් ප්‍රකාශ කළේ.

මේ නිසා පක්ෂ පාට භේද අමතක කොට මෙරට සමස්ත වැඩකරන ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී අරගලයකට පැමිණ සිටිනවා.

එබැවින් මෙය අරාජික බව තුරන් කොට, මෙරට ආර්ථික, සමාජ, සංස්කෘතික සහ දේශපාලනික වශයෙන් ප්‍රශස්ත, දියුණු රටක් බවට පත් කරගැනීම සඳහා යොදාගත යුතු බවද විපක්ෂ නායකවරයා සිය මැයි දින පණිවුඩයෙන් වැඩිදුරටත් සඳහන් කළා.

ජනතා විමුක්ති පෙරමුණ මැයි දින පණිවුඩයෙන් ප්‍රකාශ කරන්නේ වැඩ කරන ජනතාව ප්‍රමුඛ පොදු මහජනතාවගේ අධිෂ්ඨානය විය යුත්තේ රට හදන ජනතාවාදී පාලනයක් ගොඩනැගීම බවයි.

ඒ සඳහා බල ලෝභී රාජ්‍ය පාලනය සහ වසර 74 ක තට්ටු මාරු ක්‍රමය පරාජය කළ යුතු බවද ඔවුන්ගේ කම්කරු දින පණිවුඩයේ සඳහන්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top