දේශීය

ඡන්දයට මුදල් වෙන් නොකිරීම ගැන මුදල් ලේකම්ට එරෙහිව ගොනුකළ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ

2023 වසරේ විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් නිකුත් කරනු ලැබූ අතුරු නියෝගය අනුව කටයුතු කිරීම පැහැර හැරීම මඟින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කර තිබේ.

 

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

 

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජනබලවේගයේ විජිත හේරත් යන මන්ත්‍රීවරු විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

 

පෙත්සම්කරුවන් සඳහන් කර තිබුණේ, පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ගොනුකෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය 2023 වසර සඳහා වන විසර්ජන පනත තුළින් පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වමින් ඉකුත් මාර්තු මස 03 වන දා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළ බවය.

 

එම අතුරු නියෝගයට අවනතව කටයුතු කිරීම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් හිතාමතාම පැහැර හැර තිබෙන බවත් ඒ මඟින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බව චෝදනා කරමින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

 

එම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කළ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙන්ම නීතිපතිවරයා ද අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ මෙය රාජ්‍ය මූල්‍ය හා සම්බන්ධ කරුණක් බවය.

 

රාජ්‍ය මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවේ විෂය පථයට අයත් වන කටයුත්තක් බැවින් ඊට මැදිහත්වීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත් එම මූලික විරෝධතාවලින් සඳහන් කර තිබුණි.

 

එබැවින් අදාළ පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ නීතිපතිවරයා සිය මූලික විරෝධතාවලින් අධිකරණය හමුවේ සඳහන් කළ බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.

 

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ, වගඋත්තර කරුවන් විසින් ඉදිරිපත් කළ එම මූලික විරෝධතා පිළිගන්නා බවය.

 

ඒ අනුව අදාළ පෙත්සම් නිෂ්ප්‍රභ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top