දේශීය

මැදපෙරදිග රාජ්‍යන් රැසක් ශ්‍රී ලංකාවට එරෙහිව සිට ගනියි

(UTV | කොළඹ) – මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් යෝජනාවක් සම්මත කරගෙන මාසයක් ගතවීමටත් ශ්‍රී ලංකාව යළිත් ජාත්‍යන්තර හෙලාදැකීමට ලක්වෙමින් සිටී.  

ලංකාවට එරෙහිව අවි ඔසවා ඇත්තේ රටවල් 50 කට අධික සංඛ්‍යාවකින් සැදුම්ලත් තෙල් අපනයනය කරන රටවල් ඇතුළු ලෝකයේ සියලුම ඉස්ලාමීය රාජ්‍ය පාහේ එක්ව ඉන්නා බලවත් සංවිධානයකි.

හිතුමතේ අත්අඩංගුවට ගැනීම සහ නඩු නැතිව වසර ගණනක් රඳවා තැබීම නීතිගත කිරීම සඳහා “දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවා ගැනීමේ” නාමයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අලුතින් පනවා ඇති නියෝග ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) දැඩි විරෝධයට ලක් වී තිබේ.

මාසයකට ඉහතදී ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සහාය දුන් බව ශ්‍රී ලංකාවේ රජය විසින් ප්‍රකාශ කරන ලද රටවල් අතරින් අඩකට වැඩි සංඛ්‍යාවක්ද ඒ අතර වෙයි.

මාර්තු මස 12 වැනිදා ගැසට්ගත කරන ලද එම නියෝග යොදාගෙන “මුස්ලිම්වරුන් අත්තනෝමතික ආකාරයෙන් රඳවා ගෙන ඔවුන් වධහිංසා සහ මානව හිමිකම් උල්ලංඝනවලට ගොදුරු කිරීමට ඉඩ සලසා දෙන, කිසිදු නීතිමය සෝදිසියකින් තොරව දණ්ඩමුක්තිය භුක්ති විඳින ‘ඒකාබද්ධතා මධ්‍යස්ථාන’ නිර්මාණය කිරීම” OIC සංවිධානයේ ස්වාධීන නිත්‍ය මානව හිමිකම් කොමිසම (IPHRC) විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් හෙලා දැක තිබේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අවධාරණය කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරගන්න ලද යෝජනාවද තම බරපතල අවධානයට ගන්නා ලද බව මුස්ලිම් රටවල් සමුහය කියා සිටී.

එම යෝජනාව ජිනීවා නුවරදී සම්මත වීමෙන් අනතුරුව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ මානව හිමිකම් මණ්ඩලයේ සාමාජික රටවල් 47 අතරින් 25ක්ම ශ්‍රී ලංකාවට සහාය දැක්වූ බවයි. යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් රටවල් මෙන්ම ඡන්දයෙන් වැළකී සිටි රටවල්ද අමාත්‍යවරයාගේ ගණනය කිරීමට එකතු කොට තිබුණි.

එකී රටවල් 25න් 14ක්ම ශ්‍රී ලංකාවේ ත්‍රස්ත නීති හෙලා දකින සවුදි අරාබිය මූලස්ථාන කොටගත් OIC සංවිධානයේ සාමාජිකත්වය දරයි.

ත්‍රස්ත විරෝධී අණපනත් යොදාගෙන මුස්ලිම් කාන්තාවන් පළඳින බුර්කාව තහනම් කිරීමට ආණ්ඩුව පියවර ගැනීමද මුස්ලිම් රටවල දැඩි දෝෂ දර්ශනයට ලක්වී ඇත. එම තහංචිය ශ්‍රී ලංකාවද අත්සන් තබා ඇති ජාත්‍යන්තර සම්මුතියක් උල්ලංඝනය කිරීමක් බව ඔවුහු අවධාරණය කරති.

මේ අතර , පසුගිය 24 වනදා අත්අඩංගුවට ගනු ලැබූ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් වහා නිදහස් කරන ලෙස බල කරමින් ඊයේ (02) දිනයේත් උද්ඝෝෂණය මාලාවක් සංවිධානය කර තිබුණි.

2019 අප්‍රේල් මස 21 පාස්කු ඉරිදා දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනවලට අනුව එම ප්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයින්ට ආධාර අනුබල ලබාදීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් 24දා අලුයම් කාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ දෙවන වරටය.

මීට ඉහතදී ද එකී චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන මාස කිහිපයක් පුරා රඳවා ගෙන සිට චෝදනා තහවුරු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබීම මත මුදාහරිනු ලැබිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන ඇති මොහුට එරෙහිව අලුතින් කිසිඳු සාක්ෂියක් සොයාගැනීමට නොහැකිව සිටින අපරාධ පරික්ෂ දෙපාර්තමේන්තුව, උසස් නිලධාරීන්ගේ ගමන් සටහන් පොතෙහි (OVB ) හි මේ දක්වා කිසිඳු සටහනක් පළකර නොමැති බවත්, අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පමණක් කෙටි සටහනක් පළකර ඇති බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් මෙසේ බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන සිටීම සම්බන්ධයෙන් මෙරට තානාපති කාර්යාල කිහිපයක්ම රජයේ බලධාරීන් ගෙන් කරුණු විමසා ඇතත් රජයෙන් ඊට සාධාරණ විසඳුමක් ලබාදෙන ආකාරයක් පෙනෙන්නට නොමැත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top