ප්‍රමුඛ පුවත 1

ආර්ථීකය ගොඩනගන්න එන්න ජනපතිගෙන් ඇරයුමක්

(UTV| කොළඹ) – කුමන දේශපාලන මතවාද තිබුණද රට වෙනුවෙන් එක් වී ආර්ථීක වර්ධනය වෙනුවෙන් කටයුතු කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

රට වෙනුවෙන් එකට සිටිමු යන්න තේමාව කර ගනිමින් සියලුම දිස්ත්‍රික්වල සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමේ වැඩ සටහනක්ද ආරම්භ කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

පළාත් ආණ්ඩුකාරවරුන් සහ රාජ්‍ය නිළධාරින් සමග ඊයේ පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන් ම තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනට දායක කර ගැනීම සඳහා දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත “සුජාත දරුවෝ” වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ආණ්ඩුකාරවරු දැනුවත් කළේය.

මේ වන විට පුළුල් ලෙස ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාලයට මේ රටේ වෙනම ආණ්ඩු කිරීමට ඉඩ දිය නොහැකි බවයි. මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාතාලය මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා දේශපාලන පක්ෂ බේදයෙන් තොරව සියලුදෙනා අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන කප්පම් ලබා ගැනීමේ සිදුවීම් පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ තම උපදෙස් පරිදි පොලිසිය මේ වන විට අවශ්‍යය පියවර ක්‍රියාවට නංවා ඇති බවයි.

පාසල් දරුවන්ගේ ඩෙස් පුටු ගැටලුව පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමුකළ ජනාධිපතිතුමා අදාළ බලධාරින්ට උපදෙස් දුන්නේ පාසල් පෙළ පොත් ලබාදීම මෙන් ම වාර්ෂිකව ඩෙස් පුටු අවශ්‍යතාවය සපුරාලීම පිළිබඳව ද විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍ය බවයි. පාසල්වල නව ගොඩනැගිලි ඇතුළු ඉදිකිරීම්වලට වඩා පානීය ජලය, සනීපාරක්ෂක පහසුකම් සහ ඩෙස්පුටු අවශ්‍යතා සපුරාලීම සඳහා ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා මෙහිදී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙන්ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් දුන්නේ ය.

රටේ ආර්ථික සංවර්ධන වේගය ඉහළ නංවා ගනිමින් අපේක්ෂිත ආර්ථික සංවර්ධන අරමුණ ඉටුකර ගැනීමට මෙම වසරේ දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලුදෙනා එක්ව කැපවීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සහ ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක විශේෂ ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීමට තමා ඉදිරියේ දී සෑම අමාත්‍යාංශයකට ම සහ දිස්ත්‍රික්කයටම පැමිණීමට අපේක්ෂා කරන බව ද සඳහන් කළේය.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද, පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top