Trending News

අතුරුදන් ටයිටන් සබ්මැරීනය ගැන හෝඩුවාවක් ?

ගිලී ඇති ටයිටැනික් නෞකාව නැරඹීම සඳහා ගොස් අනතුරට පත් “ටයිටන්” නම් කුඩා සබ්මැරීනය සම්බන්ධයෙන් හෝඩුවාවක් ලැබී ඇතැයි අමෙරිකානු සහ කැනේඩියානු සෙවීමේ කණ්ඩායම් තහවුරු කර තිබේ.

 

ඒ අනුව සෑම මිනිත්තු 30කට වරක්ම පැය 4ක කාලයක් තිස්සේ යම් පහරදීමේ හඬක් ශ්‍රවණය වූ බව එම කණ්ඩායම් පවසයි.

 

ලෝ ප්‍රකට ටයිටැනික් නෞකාව ගවේෂණය සඳහා ගමන් කළ කුඩා ප්‍රමාණයේ සබ්මැරීනයක්, මගීන් 5 දෙනෙකු ද සමඟ අතුරුදන් වූයේ පසුගිය සති අන්තයේදී ය.

 

එතැන් පටන් එය සෙවීම සඳහා අමෙරිකාව, කැනඩාව සහ ප්‍රංශය එක්ව දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

 

සබ්මැරීනය සෙවීමේ කණ්ඩායම්වලට යම් හඬක් ශ්‍රවණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

එම නිරීක්ෂණය සිදුකර තිබුණේ සෙවීමේ මෙහෙයුම් හි නිරත කැනේඩියානු ගුවන් යානාවක් මගිනි.

 

ඒ අනුව සෑම මිනිත්තු 30කට වරක්ම පැය 4ක කාලයක් තිස්සේ එම පහරදීමේ හඬ ශ්‍රවණය වූ බව වාර්තා වෙයි.

 

මේ අතර අනාවරණ වී ඇත්තේ යාත්‍රාව තුළ තවත් පැය 30කට අඩු කාලයක් සඳහා පමණක් ඔක්සිජන් පවතින බවය.

 

අනතුරට පත් ටයිටන් සබ්මැරීනය තුළ එම යාත්‍රාව හිමි ඕෂන්ගේට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටොන් රෂ් ඇතුළු ධනවත් ගවේශකයින් පිරිසක් ගමන් කරමින් සිටියි.

 

ඉන් බ්‍රිතාන්‍ය බිලියනපති ව්‍යාපාරික 58 හැවිරිදි හර්මිෂ් හාඩින් මීට පෙර බ්ලූ ඔරිජින් වාණිජ මෙහෙයුම යටතේ අභ්‍යවකාශයට ගොස් ඇති අතර, අවස්ථා රැසකදී දක්ෂිණ ධ්‍රැවයට ගමන් කර තිබේ.

 

එමෙන්ම ඔහු ලොව ගැඹුරුම ස්ථානය වන මරියානා ආගාධයේද ගවේෂණය කර ඇති අතර, සාගර පත්ලේ වැඩිම කාලයක් වැඩිම ගැඹුරක රැඳී සිටි පුද්ගලයාට හිමි ගිනස් වාර්තාව ද පවතින්නේ ඔහු සතුවය.

 

එමෙන්ම එහි ගමන් ගත් ප්‍රංශ ගවේෂක 77 හැවිරිදි පෝල් හෙන්රි නාජොලෙට් ඉතිහාසයට එක්ව සිටින්නේ වැඩිම කාලයක් පුරා ටයිටැනික් සුන්බුන් ආසන්නයේ නිරීක්ෂණයේ නිරත වූ ගවේෂකයා ලෙසය.

 

අනතුරට පත් සබ්මැරීනය තුළ ෂෙහෙසාදා ඩාවුඩ් සහ සුලෙයිමාන් ඩාවුඩ් යන පාකිස්තාන ව්‍යාපාරික පිය පුතු දෙපළ ද ගමන් කරති.

 

ඩාවුඩ් පවුල බ්‍රිතාන්‍ය රාජකීය පවුල පවත්වාගෙන යන පුණ්‍යායතන කිහිපයකට මූල්‍ය දායකත්වය සපයන බැවින් සිදුවීම සම්බන්ධයෙන් සෘජුව තොරතුරු සපයන ලෙස චාල්ස් රජු ද නියෝග කර ඇතැයි සඳහන්ය.

 

කිලෝ 10,000කට වැඩි බරකින් යුතු අනතුරට පත් ටයිටන් සබ්මැරීනය, අත්ලාන්තික් සාගර පත්ලේ මිටර් 3,800ක ගැඹුරේ පිහිටි ටයිටැනික් සුන්බුන් සොයා පැය 8ක නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටියේය.

 

එහෙත් ගමන් ආරම්භ කර පැයයි මිනිත්තු 45කට පසුව යාත්‍රාව සමඟ පැවැති සියලු සන්නිවේදන සබඳතා බිඳවැටුණු අතර සෙවීමේ මෙහෙයුම් ආරම්භ වූයේ ඉන් අනතුරුවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top