ප්‍රමුඛ පුවත 1

සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට සුදානම්

(උදයම් ,කොළඹ ) – සියලු රාජ්‍ය විශ්වවිද්‍යාල හරිත විශ්වවිද්‍යාල බවට පත් කිරීමට ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක , උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා උපකුලපතිවරුන්ට උපදෙස් ලබා දෙයි.

 

2016 වර්ෂයේ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ප‍්‍රගති සමාලෝචනය හා 2017 වර්ෂය තුළ දිවයිනේ එක් එක් විශ්වවිද්‍යාල කටයුතු කළ යුතු ආකාරය සහ විශ්වවිද්‍යාල තුළ මතුවන ගැටලු විසඳාලීම වෙනුවෙන් සාකච්ඡාවක්  දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ප‍්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (13) අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්විණ.

 

මෙහිදී හරිත සංකල්පය හා තිරසාර සංවර්ධන ඉලක්ක, රාජ්‍ය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන තුළ ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. දැනට මෙම හරිත සංකල්ප වැඩපිළිවෙළ කැලණිය විශ්වවිද්‍යාලය තුළ සාර්ථකව ක‍්‍රියාත්මක වන අතර එය දිවයිනේ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන වෙත ද ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ සාකච්ඡා කෙරිණි. හරිත සංකල්පය ක‍්‍රියාත්මක කිරීම තුළ කැලණිය විශ්වවිද්‍යාලය ලද ප‍්‍රගතිය ද  අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.

 

සියලු විශ්වවිද්‍යාල තුළ පොලිතීන් භාවිතය අවම කිරීමේ වැදගත් කම පෙන්වා දුන් අමාත්‍යවරයා 2016 වර්ෂයේ කැලණිය විශ්වවිද්‍යාලය තුළ හරිත සංකල්පය ක‍්‍රියාත්මක කිරීම නිසා එම වසර තුළ පමණක් පොලිතින් කවර ( Lunch sheet) ලක්ෂ 2ක ප‍්‍රමාණයක් විශ්වවිද්‍යාලය තුළ භාවිතයෙන් තුරන් කිරීමට හැකියාව ලැබී ඇති බවයි.

 

පරිසරය ආරක්ෂා කිරීම මූලික කරගනිමින් කැලණිය විශ්වවිද්‍යාල තුළ ක‍්‍රියාත්මක හරිත සංකල්පය යටතේ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය, විශ්වවිද්‍යාල තුල එක්රැස් වන අපද්‍රව්‍ය පරිසර හිතකාමී හා සෞඛ්‍ය ආරක්ෂිත බැහැර කිරීමක් සඳහා අපද්‍රව්‍ය වෙන් කිරීම හා ගබඩා කිරීම , කඩදාසී ප‍්‍රතිචක‍්‍රීකරණයට යොමු කිරීම , කොම්පෝස්ට් නිෂ්පාදනය , ජීව වායු නිපදවීම , අප ජලය පිරියම් කිරීම යන කර්තව්‍යයන් සිදු කරයි. කඩදාසී ප‍්‍රතිචක‍්‍රීකරණයට යොමු කිරීමේ ව්‍යාපෘතිය මඟින් 2016 වර්ෂය අවසන් වන විට භාවිතා කළ කඩදාසී කිලෝ ග්‍රෑම් 62,000 ක ප‍්‍රමාණයක් ප‍්‍රතිචක‍්‍රීකරණයට යොමු කර ඇත.

 

එමෙන්ම මෙම විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි වලින් එක් රැස් වන වැසි ජලය අපතේ නොයවා ඒවා රැස් කර පැළ තවානේ වැඩ කටයුතු සඳහාද , කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන කිරීමට අදාළ කටයුතු සඳහාද , වැඩ අංශයේ උපකරණ සේදීමේ  හා උද්‍යාන කටයුතු සඳහා ද යොදා ගෙන ඇති බව අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කළේය.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top