ප්‍රමුඛ පුවත 1

ස්විට්සර්ලන්තයේදී මෙරට අගමැති සහ චීන ජනපති අතර හමුවක්

(උදයම්, කොළඹ) – ලෝක ආර්ථික සමුළුවට සහභාගීවීම සඳහා ස්විට්සර්ලන්තයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට සහභාගී වී තිබේ.

ආර්ථික සමුළුවේ සමාරම්භක උළෙල ආරම්භ වීමට පෙර අදාළ සාකච්ඡාව පවත්වා ඇත.

එහිදී ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන චීන ආයෝජන පිළිබඳ විශේෂ අවධානයක් යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.ඊට අමතරව හම්බන්තොට වරාය හා ඒ ආශ්‍රිත ආයෝජන කලාපය සහ කොළඹ ඉදිකෙරෙන මූල්‍ය නගරය පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.

මෙම සාකච්ඡාව සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අමතරව බංගලාදේශ අග්‍රාමාත්‍යවරිය, සර්බියානු අග්‍රාමාත්‍යවරයා සහ ස්විට්සර්ලන්ත ජනාධිපතිනිය සහභාගී වූ බව වාර්තාවේ.

එක් මාවතක් හා එක් තීරයක් ව්‍යාපෘතිය යටතේ මේ වන විට රටවල් හා ආයතන සියයකට ආසන්න ප්‍රමාණයක් සමඟ  චීනය විවිධ ව්‍යාපෘති දියත් කර ඇති බව චීන ජනාධිපති ෂී ජින් පින් මහතා එහිදී පෙන්වා දී ඇත.

මෙම  සාකච්ඡාවෙන් අනතුරුව ලෝක ආර්ථික සමුළුවේ සමාරම්භක අවස්ථාවට චීන ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජ්‍ය නායකයින් සහභාගී වී තිබේ.

සමාරම්භක දේශනය පැවැත්වූ චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ගෝලීය ආර්ථිකය නගාසිටුවීමට නම් නිදහස් වෙළඳාම සහ විවෘතභාවය තහවුරු කරමින් ආරක්ෂණවාදය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ යුතු බවයි.

ආර්ථික යුද්ධයකින් ජය ගන්නා කිසිවෙකු නොමැති බව ප්‍රකාශ කර ඇති චීන ජනාධිපති ෂී ජින් පින් මහතා, එබැවින් අනාගත ගෝලීය ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය සියලු රටවලට හා සියලු ජාතීන්ට ප්‍රතිලාභ හිමි වන සමගි සම්පන්න සාමූහික ව්‍යායාමයක් විය යුතු බව අවධාරණය කර තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top