ප්‍රමුඛ පුවත 1

මෙරට ඩිජිටල්කරණය වේගවත් කරලීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ සහය

(උදයම්,ස්විට්සර්ලන්තය) – ශ්‍රී ලංකාවේ පරිගණක සාක්‍ෂරතාව වැඩි දියුණු කරලීම සහ ඩිජිටල්කරණය වේගවත් කරලීම සඳහා අවශ්‍ය සහය සහ උපදෙස් ලබා දීමට මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති ෂේන් පිලිප් කර්ටෝස් මහතා එකඟ වෙයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා මයික්‍රෝසොෆ්ට් සභාපතිවරයා අතර ස්විට්සර්ලන්තයේ පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා ඇත.

අනාගතයේ කඩදාසි ලිපිගොනු වලින් තොර කාර්යාල පරිසරයක් නිර්මාණය වන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරලීමේ අවශ්‍යතාව හා වැදගත්කමද සභාපතිවරයා පෙන්වා දී තිබේ.

ඒ තත්වය ශ්‍රී ලංකාව මැනවින් අවබෝධ කර ගෙන ඇති බවත්, ඊට අවශ්‍ය මූලික සැලසුම් දැන් සැකසෙමින් පවතින බවත්  විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා රාජ්‍ය කාර්යාල තාක්‍ෂණයෙන් සන්නද්ධ සුහුරු කාර්යාල බවට පත් කරලීම යහපාලන රජයේ අපේක්‍ෂාව බව පෙන්වා දී ඇත.

මේ පරිවර්තනය සිදු කිරීමත් සමග සියලු කාර්යාල කාර්යක්‍ෂම හා තරගකාරී තලයකට ඔසවා තැබීමට හැකි වන බව ද මෙහිදී අවධාරණය කර තිබේ.

එමෙන්ම ලෝකයේ විශාලතම වෙළඳපොලවල් හතරකට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විවර කරලීම සඳහා අවස්ථාව ළඟදීම උදාවන බැවින්, ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජාත්‍යන්තර හා දේශීය ආයෝජකයන්ට ආරාධනා කරන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.

ඩවොස් නුවර ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට පැමිණ සිටින තුන්සියයකට අධික ව්‍යවසායකයින්ට වික්‍රමසිංහ මහතා දන්වා සිටියේ මේ ආයෝජන සහ නව වෙළඳපොළ අවස්ථාවන් පිළිබඳව අධ්‍යයනය කිරීම උදෙසා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසයි.

එමෙන්ම පසුගියදා ලෝක ආර්ථික සමුළු පරිශ්‍රයේ පිහිටි මාධ්‍ය ගම්මානයේ පැවති විශේෂ පුවත් සාකච්ඡාවක් අමතමින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි මාස කීපය තුළ ශ්‍රී ලංකාවේ අතිශය වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගණනාවක් සිදු කිරීමට නියමිත බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top