ප්‍රමුඛ පුවත 1

ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට

ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට (24)  සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පියවර ගෙන තිබේ.

ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වය පාලනය කිරීම අරමුණු කොට ගෙන සියලු ම රාජ්‍ය ආයතන පරික්ෂා කිරීම එම ආයතන විසින් ම හෙට දින සිදු කෙරෙනු ඇත. මීට සමගාමී ව මේ මස 25, 26 සහ 27 යන දිනයන් දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් මෙම රාජ්‍ය ආයතන නැවත  පරික්ෂාවට ලක් කිරීමට කටයුතු යොදා ඇති බව  ‍ජාතික ඩෙංගු මර්ධන ‍ඒකකයේ,  විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ  අද (23) ජාතික ඩෙංගු මර්දන ඒකකයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ  වෛද්‍ය තිසේරා මහතා පැවසුවේ, පසුගිය දිනවල ඇති වූ කාලගුණික විපර්යාසයන් සමඟ ඩෙංගු රෝගය පැතිර යාමේ ප්‍රවණතාවයේ යම් යම් ඉහළ යාමක් සිදු වූ බවයි.

ලංකාව ඇතුළු ව රටවල් ගණනාවක ඩෙංගු මදුරුවන් බෝවීමේ ප්‍රවණතාවය හා ඩෙංගු රෝගී ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවයේ  යම්කිසි වර්ධනයක් දක්නට ඇති බවත්  විශේෂයෙන් ම අපට ආසන්නයේ පවතින රටවල් කිහිපයක් සලකා බැලීමේදී මැලේසියාවේ  2016 වර්ෂය තුළ රෝගීන් ලක්ෂයක් පමණ වාර්තා වන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එසේම මරණ 231ක් එරටින් වාර්තා වේ. පිලිපීනය ගත් කළ රෝගීන් ලක්ෂයක් වාර්තා වන අතර,  මරණ 440ක් වාර්තා වේ. සිංප්පූරුව වැනි කුඩා රටක් ගත් කළ රෝගීන් 13,000කට අධික සංඛ්‍යාවක් 2016 වර්ෂය තුළදී  වාර්තා වී ඇත.

මීට අමතර ව ඉන්දියා, බංගලාදේශය සහ යම්තාක් දුරට පකිස්තානයෙත් රෝගීන්ගේ වාර්තා වීමක් දක්නට ඇති බව තිසේරා මහතා එහිදී පැවසීය.

ලංකාවේ 2016 වර්ෂය වන විට රෝගීන් 55,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මරණ අනුපාතිකය ගත් කළ  2016 වර්ෂයට මරණ 91ක්  වාර්තා වී ඇත. 2016 වර්ෂයේ මෙම අනුපාතය ගත් කළ පසුගිය කාලයට ම දක්නට ලැබූ  අඩුම මරණ අනුපාතය  මෙය වේ.

2016 වර්ෂයට සමඟාමී ව 2017 වර්ෂයේ මුල් කාලයේදී  ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීමේ වර්ධනයක් දක්නට ඇත.  2016 දෙසැම්බර් මාසයේදීත් මෙම වර්ධනය දක්නට ලැබුන බව පැවසූ වෛද්‍ය තිසේරා මහතා වැඩිදුරටත් පැවසුවේ, මේ වන විටත් ඒ තත්ත්වය එලෙස ම පවතින බවයි.  මෙම වැඩිවීම මේ ආකාරයට ඉදිරියටත් පැවතුනහොත්, විශේෂයෙන් නිරිත දිග මෝසම් ඇති වන  කාලවකවානුව වන විට (මැයි, ජූනි)  මෙයටත් වඩා  ඩෙංගු රෝගය වර්ධනය වීමේ අවදානමක් පවතින බවයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top