ප්‍රමුඛ පුවත 1

උතුරු පළාතේ ඉදිකළ ප්‍රථම බස් නැවතුම්පොළ වන වව්නියාව බස් නැවතුම්පොළ ජනතා අයිතියට

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් උතුරු පළාතේ ඉදිකළ ප්‍රථම බස් නැවතුම්පොළ වන වව්නියාව බස් නැවතුම්පොළ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහ කර්මාන් හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ( 16) විවෘත කෙරිණ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ව්‍යාපෘති වියදමින් රුපියල් මිලියන 1950ක් වැය කර ඉදිකර ඇති මෙම බස් පර්යන්තය අංගසම්පුර්ණ පහසුකම්වලින් සමන්විත බස් නැවතුම්පොළකි.

අන්තර් පළාත් බස්රථ 13ක් ද, පළාත තුළ ධාවනය වන බස්රථ 21ක් ලෙසද මුලු බස්රථ සංඛ්‍යාව 34ක් මෙහි නැවතීමේ පහසුකම් ඇති අතර බස් නැවතුම්පොළේ විශාලත්වය අක්කර 03ක වපසරියකි.

මෙම බස් නැවතුම්පොළ තුළින් යාපනය වෙත ගමන්ගන්නා බස්රථ හා ආපසු පැමිණෙන බස්රථ 100ක පමණ මෙහෙයුම් කටයුතු සිදු කළ හැක.

එමෙන්ම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ මෙහෙයුම් සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ බස්රථ මෙහෙයවීමේ කටයුතු සඳහා කාර්යාල පහසුකම් ද ඇති අතර මගීන් සඳහා පැය 24 පුරාම විවෘතව පවතින ආපනශාලා දෙකක් ද ස්ථාපිත කර ඇත. මගී ජනතාවගේ ආරක්ෂාව සඳහා පැය 24 පුරාම ක්‍රියාත්මක පොලිස් මුරපොළක් ද, සනීපාරක්ෂක කටයුතු ඉටුකර ගැනීම සඳහා සනීපාරක්ෂක සේවාවන් ද මෙම බස් නැවතුම්පොළේ සපුරා ඇත.

විශේෂයෙන් ම මෙම බස් පර්යන්තයේ ආබාධිත පුද්ගලයින් සඳහා ප්‍රවේශයන් මෙන්ම ඔවුන් සඳහා වෙනමම සනීපාරක්ෂක පහසුකම්ද සපුරා ඇත.

මෙතෙක් වව්නියාව නගර මධ්‍යයේ ප්‍රදාන මාර්ගය අසල සුළු ඉඩකඩක් තුළ දුරගමන් සේවා මෙන්ම පළාත් තුළ ධාවනය වන පෞද්ගලික බස්රථ නතර කර මගීන් පටවා ගැනීම සිදු කෙරිණ. එහෙත් එම තත්ත්වය නගර වැසියන්ටත්, පදිකයින්ටත්, ව්‍යාපාරිකයින්ටත් විශාල හිරිහැරයක්ව පැවතුණි. මෙම තත්ත්වය මග හරවාලීමේ අරමුණින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව නගරයෙන් මදක් ඔබ්බට ඉඩකඩ ඇති ස්ථානයක නව බස් නැවතුම්පොළ ඉදිකරීමට පියවර ගැණුනි.

මෙම බස් නැවතුම්පොළ විවෘත කළ අවස්ථාවේ දී අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මෙසේ පැවසීය.

‘‘පසුගිය යුද්ධ කාලේ මේ ප්‍රදේශය විශාල වශයෙන් විනාශ වෙලා තිබුණා. හැම තැනම ගොඩනැගිලි කඩා වැටිලා. බොහෝ දෙනා ප්‍රදේශය අතහැර පලා ගිහින් තිබුණා. නමුත් දැන් සාමය උදාවෙලා. බොහෝ දෙනෙක් තමන්ගේ ගම් බිම් බලා ඇවිල්ලා. අපිට ලොකු වගකීමක් තියෙනවා. රජයක් ලෙස මේ ප්‍රදේශ දියුණු කළ යුතුයි. ජනතාවට පහසුකම් ඇති කළ යුතුයි. මේ එහි එක් පියවරක් පමණයි. අපි දැක්කා වව්නියාව නගරයට විශාල අඩුවක් ලෙස බස් නැවතුම්පොළක් නැති එක. මා පසුගිය රජය කාලයේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස දිගින් දිගටම ඉල්ලීම් කළා බස් නැවතුම්පොළක අවශ්‍යතාව ගැන. එවකට ප්‍රවාහන ඇමති සී.බී.රත්නායක මහතාට මා ස්තූති කළ යුතුයි. එතුමා මෙහි මුල් පියවර දැම්මා. පසුව අපේ නිමල් සිරිපාල ද සිල්වා ඇමතිතුමා තමයි මේ කාර්යය කඩිනමින් අවසන් කිරීමට ශක්තියක් සැපයුවේ. අද අපිට නවීන පන්නයේ බස් නැවතුම්පොළක් ලැබිලා තියෙනවා. වව්නියාව කියන්නේ උතුරේ මැද ප්‍රදේශය. නව රජයේ සංවර්ධන ව්‍යාපෘතිය අනුව යාපනය, මුලතිව්, මන්නාරම, වව්නියාව සියල්ල සංවර්ධනය කරද්දී වන්නිය ලෙස එදා හැඳින්වූ මේ ප්‍රදේශයේ මැද පිහිටි වව්නියාව නගරය ඉතා වැදගත් කේන්ද්‍රස්ථානයක් වනවා. එය සංවර්ධනය කිරීමට අපි විශාල සැළැස්මක් අනුව කටයුතු කරනවා. මේ එහි එක් පියවරක් පමණයි.“

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/open-bus-stand-UDM-SIN-03.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2017/01/open-bus-stand-UDM-SIN-02.jpg”]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top