දේශීය

සෞඛ්‍යාරක්ෂාවට මුල්තැන දෙමින් මෙවර අවුරුද්ද සමරමු

(UTV | කොළඹ) – සෑම වසරකම බක් මාසයේ සූර්යය සංක්‍රාන්තියත් සමග එනම් සූර්යයා මීන රාශියෙන් මේශ රාශියට ගමන් කිරීමත් සමග නව සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදා වෙයි. මෙම සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද අතීතයේ සිටම ශ්‍රී ලංකාවේ පැවති මහා සංස්කෘතික කලා මංගල්‍යයකි.

කෘෂිකාර්මික කටයුතු හා බැදුණු විශ්වාස, චාරිත්‍ර වාරිත්‍ර, ආගමික කටයුතු අවුරුද්දත් සමග බැදී පවතී. අලුත් අවුරුද්දේ බෞද්ධයින් සිය ආගමික කටයුතු වලට මුල්තැන දෙමින් අවුරුද්ද සමරන අතර, හින්දු භක්තිකයින්ද ඔවුන්ගේ ආගමට අනූව අවුරුද්දේ චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරති.

වර්තමානයේ අවුරුදු දින සිරිත් විරිත් ඉටු කිරීම සාම්ප්‍රදායිකව නක්ෂත්‍රකරුවන් විසින් ලබාදෙන නැකැත් වේලාවන් අනූව කරනු ලබන අතර අලුත් අවුරුදු උදාව සැමරීම ස්වදේශීය බෞද්ධ හා හින්දු සම්ප්‍රදායන් වල සංකීර්ණ එකතුවක් ලෙස සලකනු ලබයි.

බක් මාසයේ උදාවත් සමග ගහකොළ පරිසරය පවා අවුරුද්දට සැරසෙන ආකාරයක් කියා පාමින් නැවුම් සිරියක් ගන්නා අතර එය ජනතාවගේ සිත් තුළද නව අවුරුදු උදාව සහ නව බලාපොරොත්තු පිළිබදව හැගීමක් ජනිත කරවීමට සමත් වෙයි. කොවුලාගේ කෑ ගැසීම, එරබදු මල් රතට පිපීම මෙන්ම ගහකොළ මලින් ඵලයෙන් බරවීම අවුරුදු අසිරිය කියාපාන්නකි.

අලුත් අවුරුදු උත්සව සමය තුල ළමුන් මෙන්ම වැඩිහිටියන්ද සම්ප්‍රදායික ඇඳුමින් සැරසී නෑදෑ හිතමිතුරන් සමඟ ප්‍රීතිමත් වනු දැකිය හැකිය. එක් එක් චාරිත්‍රය ඉටු කිරීම සඳහා සුභ මොහොත උදාවූ
බව සංඥා කරනු ලබන්නේ රතිඤ්ඤා හඬ මඟිනි.

ගෘහණිය නිවසේ අවුරුදු කෑම මේසයට කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් අනිවාර්යයෙන්ම පිළියෙල කර ගනියි. නැකතට ආහාර අනුභව කිරීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා හිස තෙල් ගෑම අලුත් අවුරුදු උදාවෙන් පසුව සිදු කරන මූලික චාරිත්‍ර වේ. මෙම වැදගත් චාරිත්‍ර ඉටු කිරීමෙන් පසුව සියලු දෙනා මාර්ගයේ, නිවෙස්වල හෝ එකට එකතු වී අවුරුදු ක්‍රීඩා වල යෙදෙති. පංච කෙළිය, ඔන්චිලි වාරම්, ඔළිඳ කෙළිය, රබන් ගැසීම ඉන් කිහිපයකි. ඊට අමතරව එළිමහනේ අවුරුදු ක්‍රීඩා උත්සව පැවත්වීම සඳහා ගම්වැසියන් සියලු දෙනා දායක වෙති.කොට්ට පොර ගැසීම, පොර පොල් ගැසීම, ලිස්සන ගහේ නැඟීම,කඹ ඇඳීම, අවුරුදු කුමරිය තේරීම වැනි තරඟ ඉසව් වලට මෙහිදී මුල් තැන හිමි වේ. බොහෝ විට නාගරික ජන ජීවිතය තුලට වඩා ගැමි සමාජය තුල අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දීමත් අවුරුදු උත්සව පැවත්වීමත් සියලු දෙනා සහයෝගයෙන් කටයුතු කරන ආකාරයත් දැකිය හැකිය.

අලුත් අවුරුද්ද ශ්‍රී ලාංකික සිංහල බෞද්ධයින්ට හා දෙමළ හින්දු ආගමිකයින්ට ඉතා වැදගත් ජාතික නිවාඩු දිනයකි. සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමාජ සම්බන්ධතා වැඩි දියුණු වීමටත් පැරණි සිරිත් විරිත් නොනැසී ඉදිරියට පවත්වාගැනීමටත් එකිනෙකා අතර අනෞන්‍ය විශ්වාසය වැඩි දියුණු වීමටත් ඉවහල් වේ.

මෙවර ලෝකයටම අභියෝගයක්ව පවතින කොවිඩ් වසංගතයත් සමග ගියවසරේ මෙන්ම යම් යම් සීමාවන්ට යටත්ව අවුරුදු සැමරීමට වීම ශ්‍රී ලාංකිකයන් වන අපද මුහුණපා සිටින අභියෝගයකි. කෙසේ වුවද සෞඛ්‍යාරක්ෂාවට මුල්තැන දෙමින් සෞඛ්‍ය නීති රීතීන් නිරන්තරයෙන් පිළිපදිමින් උදාවූ අලුත් අවුරුද්ද සැමරීමට අප සියලු දෙනා කටයුතු කරමු.

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සමාය සතුට මෙන්ම නීරෝගීභාවයද සපිරි සිරි සුභ අලුත් අවුරුද්දක් වේවා..!

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top