ගොසිප්

සත්‍යය ජය ගනීවි – ශිල්පා ෂෙට්ටි

අසභ්‍ය චිත්‍රපටි ජාවාරමක් සම්බන්ධයෙන් මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද රාජ් කුන්ද්‍රා සම්බන්ධව ඔහුගේ බිරිඳ ජනප්‍රිය නිළි ශිල්පා ෂෙට්ටි සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් මුදා හැර ඇත. ඇය විවෘතව ඒ ගැන කතා කර ඇත්තේ පළමු වතාවටය. වරුන් ධාවාන්, ජැකලීන් ෆර්ඩිනැන්ඩස්, ෆාරා ඛාන්, දියා මිර්සා, අභිමන්යු දසානි ඇතුළු බොලිවුඞ් නළුනිළියන් කිහිප දෙනෙක් පමණක් ඇගේ ප්‍රකාශයට සහයෝගය පළ කරන සංඥා සටහන් කර තිබිණි. ඇගේ මී ළඟ චිත්‍රපටිය වන නිකම්මා හි ඇය සමඟ රඟ පාන්නේ අභිමන්යුය.
“ඔව් පහු ගිය දවස් කිහිපය හැම පැත්තෙන්ම ලොකු අභියෝගයක් වුණා.. හුඟක් කටකතා පැතිරුණා විතරක් නෙමෙයි දෝෂාරෝපණත් එල්ල වුණා.. මගේ චරිතය ඝාතනය කෙරෙන නොයෙකුත් ප්‍රකාශ මාධ්‍යවල පළ වුණා. ඒ විතරක් නෙමෙයි මගේ පවුලේ අයටත් මුහුණ දෙන්න සිදු වුණේ අසීරු තත්වයකට.. තවමත් මේ සිද්ධිය පරීක්ෂණ මට්ටමේ තියෙන හින්දා මම ඒ කිසිම දේකට පිළිතුරු දෙන්න ගියෙ නෑ.. මම ඉල්ලා හිටින්නෙ කරුණා කරලා මේ වගේ ද්වේෂ සහගත ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින්න කියලයි..”
ඇය සඳහන් කර තිබිණි.

ශිල්පා තව දුරටත් කියා තිබුණේ මුම්බායි පොලීසිය කෙරෙහිත්, ඉන්දියානු අධිකරණය කෙරෙහිත් තමා විශ්වාසය තබන බවය. එහෙත් සිය දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන ලෙස ඇය සියල්ලන්ගෙන්ම ඉල්ලා සිටින්නීය.

“ජනප්‍රිය කෙනෙක් විදියට මම විශ්වාස කරන දර්ශනය තමයි “කිසිම වෙලාවක මැසිවිලි නොනඟන්න. කිසිම දෙයක් පහදා දීමට නොයන්න.” කියන එක.. මම නීතියට ගරු කරන හොඳ පුරවැසියෙක්.. ඒ වගේම අවුරුදු 29 ක් මම හුඟක් වෙහෙසිලා වැඩ කරලා තියෙනවා.. මම කවදාවත් කිසිම කෙනෙක් හෙළා දැකලා නෑ කියන එක මිනිස්සු විශ්වාස කරනවා.. මේ වෙලාවේ මම ඉල්ලා සිටින්නෙ මගේ පවුලේ පෞද්ගලිකත්වය රකින්න කියලා.. මාධ්‍යවලින් නඩු විසඳන්න වුවමනාවක් නෑ.. ඒකට තමයි නීතිය තියෙන්නෙ.. සත්‍යය ජය ගන්නවා නිසැකයි..” ඇය තව දුරටත් කියා තිබිණි.

මේ සිද්ධියට අදාළව රාජ් කුන්ද්‍රා ඇතුළු පිරිසක් මුම්බායි පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ජූලි 19 දාය. ඔවුන් දින 14ක් රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබිණි. හොට්ෂොට්ස් නමැති ඇප් මෙවලමේ ඇඞ්මින්වරයා වන්නේ රාජ් කුන්ද්‍රා බවත්, ඔහුගේ කාර්යාලයේ තිබී පොලිස් භාරයට ගන්නා ලද ලැප්ටොප් පරිගණකයේ අසභ්‍ය චිත්‍රපටි වීඩියෝ 69 ක් තිබූ බවත් පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය. ඊට ඉහත තවත් එබඳු වීඩියෝ 51ක් පොලීසිය අතට පත් වී තිබිණි. මේවායේ රඟ පා ඇත්තේ බොලිවුඞ් ක්ෂේත්‍රයට පිවිසීමේ ආශාවෙන් සිටින තරුණ තරුණියන් බැව් කියැවෙයි. චිත්‍රපටියක චරිත ලබා දෙන බව පවසා ඔවුන් රවටා මේවායේ රඟ පාන්නට යෙදවූ බැව් ඇතැමුන් ප්‍රකාශ කර තිබිණි.

සිද්ධිය පිළිබඳව විමර්ශන කටයුතු සිදු වෙමින් පැවතියත් එය යට ගසන්නට රාජ් කුන්ද්‍රාගේ මුදල් බලයට හැකි වෙනු ඇතැයි මේ ගැන අදහස් දක්වන සාමාන්‍ය ජනතාව කියන්නේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top