දේශීය

ශ්‍රී ලංකා ජනපති සහ චීන ජනපති අතර දුරකථන සංවාදයක්

(UTV | කොළඹ) -ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහතා අද (29) සවස දුරකථන සංවාදයක නිරත වෙමින්, සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම උදව් කරන බවත්, බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්තිසහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිවරයා මෙහිදී කියා සිටි බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපති රාජපක්ෂ මහතා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව ෂී ජිං පින් ජනාධිපතිවරයාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව පළ කළේය.

කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හය ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම ගැන ද ජනාධිපතිවරයාගේ ස්තූතිය පුද කෙරිණි.

ළඟදී උදාවන සිංහල දෙමළ අලුත් අවුරුද්දට සුබ පැතුම් පුද කරමින් කථා බහට එක් වූ චීන නායකයා කොවිඩ්-19 ප්‍රබල අභියෝගයක් වූවා සේම චීන ශ්‍රී ලංකා සබඳතා නව අවධියකට ඔසවා තැබීමට එය ඉවහල් විණැයි සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top