දේශීය

ලයිසන් එක එනකං ලක්ෂ 08කට වැඩි පිරිසක් මග බලාගෙන

(UTV | කොළඹ) –රියදුරු බලපත්‍ර සකසා ගැනීම සඳහා ලබන ඔක්තෝබර් වන තුරු තදබදයක් පවතින බව රජය පවසයි.

ප්‍රවාහන රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පැවසුවේ රියදුරු බලපත්‍රයක් ඉල්ලුම් කරන ලද පිරිසෙන් 865,000 කට තවමත් ලබාදී ඇත්තේ තාවකාලික කුවිතාන්සියක් පමණක් බවය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (17) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු  කියා සිටියේ රියදුරු බලපත්‍රයට අදාල කාඩ්පත් මිලදී ගැනීමට අවශ්‍ය ඩොලර් මෙරට තුල පසුගිය වකවානුවේ නොතිබීම නිසා,රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට ගැටළු තත්වයන් පැවති බවය.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී යම් යම් අක්‍රමිකතා සිදුවූ බවට මාධ්‍ය වලින් පසුගිය කාලයේ අනාවරණය කල බවත්,මේ වන විට රියදුරු බලපත්‍ර කඩිනමින් ලබාදීම සඳහා අලුතින් යන්ත්‍ර තුනක් ස්ථාපිත කර තිබෙන බවද ඇමැතිවරයා කීවේය.

මේ වනවිට දෛනිකව රියදුරු බලපත්‍ර 4,000 ක් පමණ නිකුත් කරන බවත්,ලබන ඔක්තෝබර් මාසයේ සිට එදිනෙදා පැමිණෙන අයට රියදුරු බලපත්‍රය ලබාදීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

වසරකට විදේශිකයින් 3,500 ක් පමණ මෙරට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට යන බවත්,එහිදී ඔවුන්ට සිදුවන අපහසුතා වැළැක්වීම සදහා ලබන අප්‍රේල් මාසයේ සිට විදෙස් සංචාරකයින්ට රියදුරු බලපත්‍රය ගුවන් තොටුපොලේදීම ලබාගත හැකි පරිදි පහසුකම් සැලසීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

ලක්ෂ අසූ පහකට අධික පිරිසක් මේවනවිට රියදුරු බලපත්‍ර ලබාගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top