කලා

ලංකාවේ පාරවල්වල තවම මම තනියම යන්න දන්නෙ නැහැ

(UTV | කොළඹ) – ගයාත‍්‍රී රාසිංගොල්ල කියලා කියන්නේ සකූගේ ලෝකය ටෙලිනාට්‍යයේ දැහැමි නැත්තන් සුදු හාමිනේ ලෙසින් ප්‍රේක්ෂකයන් අතරට එන දක්ෂ සුරූපී නවක නිලියක් විදිහට හදුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු පහුගිය දවසක පුවත්පතක් එක්ක ඇය කතා බහ කරලා තිබුනේ මෙන්න මේ විදිහටයි. මම මීට පෙර ටෙලිනාට්‍යයක රඟපාලා නැහැ. මම ඕස්ට්‍රේලියාවේ ඉඳලා ලංකාවට ආපු දවසක මගේ හොඳම මිතුරියක් පැවැසුවා ‘සකූ’ ටෙලිනාට්‍යයට රංගන ශිල්පිනියක් තෝරාගන්නා බවට දැන්වීමක් පළ කරලා තියෙනවා, මටත් සම්බන්ධ වෙලා බලන්න කියලා. මොකද මගේ යහළුවෝ දැනගෙන හිටියා ඒ කාලේ ඉඳලා රඟපෑමට මගේ කැමැත්තක් තියෙන බව. ඉතින් මගේ තිබුණු ආශාවත් එක්ක මම ඒ සම්මුඛ පරීක්ෂණයට සම්බන්ධ වුණා. එදා ඒ සම්මුඛ පරීක්ෂණයට ගොඩාක් නවක වයස් භේදයකින් තොරව සහභාගි වෙලා හිටියා. මමත් ඊට පෙනී ඉඳලා ගෙදර ආවා. සතියකට විතර පස්සේ මට දුරකතන ඇමතුමක් ආවා ‘සකූගේ ලෝකය’ ටෙලිනාට්‍යයේ දැහැමිගේ චරිතයට මාව තෝරාගත්තා කියලා. ඔය විදියට තමයි මම රංගන ශිල්පිනියක් ලෙස මේ ක්ෂේත‍්‍රයට සම්බන්ධ වුණේ.

හැබැයි මේ දවස්වල මට ලැබෙන ප‍්‍රතිචාරවල හොඳක් නම් අහන්න නැහැ. බොහෝ දෙනෙක් මට බණින එක තමයි කරන්නේ සකූට කරන හිරිහැර නිසා. හැබැයි ඉතින් මට ගොඩ දෙනෙක් මැසේජස් හරහා කියනවා අපි ඔයාට එහෙම බණින්නේ ඔයා හොඳට රඟපාන නිසා, ඉදිරියටත් හොඳ නිර්මාණවල රඟපාන්න කියලා. මට මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් සුබ පතනවා. ඉතින් මේ සියලූ දෙනාගෙන්ම ලැබෙන ආශීර්වාදය මට වටිනවා. සුදු හාමිනේ නැත්තන් දැහැමි මේ හැම දේම කරන්නේ ඇයට තිබෙන ආදරය අඩුවෙයි කියලා තමයි සකූට නපුරුකම් කරන්නේ. හැබැයි මගේ සැබෑ ජීවිතය ඊට සමාන කළොත් මම සුදු හාමිනේ තරම් නපුරු නැහැ. හරිම සංවේදී චරිතයක්. සමානකමක් විදියට ගත්තොත් තියෙන්නේ සුදු හාමිනේ වගේම තමයි මමත් පවුලේ එකම දරුවා. එතැනින් එහාට කිසිම සමීපකමක් සුදුහාමිනේගේ චරිතය තුළ මට ගන්නට නැහැ.

මම ඕස්ට්‍රේලියාවේ මනෝ විද්‍යාව තමයි කළේ. ඉතින් මට මිනිසුන්ගේ හදවත්, චරිත තේරුම් ගැනීමට ලොකු පහසුවක් තිබෙනවා. මට සුදු හාමිනේ තුළ ජීවත්වීමට විශේෂ වරමක් හිමිවුණේ එම නිසයි. මගේ වෘත්තියෙන් ලැබුණු පන්නරයත් ඒ සඳහා විශේෂ බලපෑමක් ඇතිවුණා කියලා මම විශ්වාස කරනවා. මම අධ්‍යාපන කටයුතු කළේ බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර පාසලක. නමුත් මගේ මවු බස මම අමතක කළේ නැහැ. මම විදේශගත වෙලා හිටපු කාලෙදි වුණත් මම ලංකාවෙ හොඳ නිර්මාණ හැම එකක්ම නැරඹුවා. ‘සකූ’ ටෙලිනාට්‍ය පවා මම එහිදී නැරඹුවා. නමුත් මම හිතුවේ නැහැ ‘සකූ’ ටෙලිනාට්‍යයේ ඉදිරි අදියරේදී මට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබේවි කියලා.

මට සිංහල භාෂාව නම් කිසිම ප‍්‍රශ්නයක් නැහැ. නමුත් මම ලංකාවේ පාරවල්වල තවම තනියම යන්න දන්නේ නැහැ. ඒ නිසා මා සමග මගේ මවුපියන් නිතර දෙවේලේ යන්න එනවා. මාව අතරමං වේවි කියලා. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා ටෙලිකොම් ඉන්ජිනේරුවරයෙක්. මගේ ගම් පළාත මහනුවර. මගේ මවුපියන්ට ඉන්න එකම දරුවා මමයි. ඔවුන්ගේ ශක්තිය මට වටිනවා. මගේ මවුපියන් දන්නවා මම ගන්න තීරණය හොඳට හිතලා මතලා ගන්න බව. ඒ නිසා මගේ කිසිම දේකට මවුපියන්ගේ විරුද්ධත්වයක් නැහැ. මම මනෝ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරන නිසා මේ දවස්වල ඒ සඳහා ඔන්ලයින් හරහා උපදේශන පවත්වනවා. ඉදිරියට තෝරා බේරාගෙන නිර්මාණ සඳහා යොමුවෙන්න සැලසුමක් සකසා ගන්නවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top