දේශීය

රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුයි

(UTV | කොළඹ) – උද්ගතව ඇති තත්ත්වය හමුවේ ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනපතිතුමා මේ බව අවධාරණය කළේ අද (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

ලොව සියලු රටවල් දැඩි දුෂ්කරතාවන්ට  මුහුණ පා සිටින නමුත් ආනයන සීමා කරමින් අභියෝග කළමනාකරණය කිරීමට  තම රජයට හැකි වූ බව පෙන්වාදුන් ජනාධිපතිතුමා වැවිලි ක්ෂේත්‍රයට උත්පාදනය කළ හැකි බොහෝ දේ අනවශ්‍ය ලෙස ආනයනය කර ඇතැයි පැවසීය.

දේශීය ආර්ථිකය ගොඩනැගීමේදී වැවිලි ක්ෂේත්‍රයට ප්‍රමුඛ කාර්ය භාරයක් පැවරී තිබේ. එය අවබෝධ කර ගෙන පාඩු ලබන වතු ලාභ ලබන තත්වයට කඩිනමින් දියුණු කළයුතු යැයි ජනාධිපතිතුමා කියා කියා සිටියේය.

ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමේ වැදගත්කම පෙන්වා දුන් රාජපක්ෂ මැතිතුමා අපනයන ප්‍රවර්ධනයට ගතයුතු ක්‍රියාමාර්ග දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කළේය.

2018 වසරේදී මෙරට වැවිලි භෝග අපනයන ආදායම රුපියල් බිලියන 538කි. 2022 වන විට එය රුපියල් බිලියන 753 දක්වා නැංවීම තම අමාත්‍යාංශයේ අපේක්ෂාව බව වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පෙන්වා දුන්නේය.

දේශීය වෙළෙඳපොළ හා අපනයනය ඉලක්ක කර ගනිමින් පොල් වගාව සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව කී පතිරණ මහතා පලෙයි, කිලිනොච්චි සහ මුලතිව් යන උතුරේ ප්‍රදේශවල ද පොල් වගාව සාර්ථක වී ඇතැයි සඳහන් කළේය. කොකෝවා සහ කෝපි වගාව දියුණු කිරීමට ද පියවර ගෙන තිබේ.

එසේම යුද හමුදාවේ කෘෂිකර්ම ඒකකයක් පිහිටුවා වගාවන්ට සහායවිය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනතා වතු සංවර්ධන මණ්ඩලය පාඩු ලැබීමට හේතු විමර්ශනය කොට ඉක්මණින් ලාබ ලැබීමට ඉවහල්වන අයුරින් වැවිලි සංස්ථාව සතු දැව අපනයනය විධිමත් කරන ලෙස ද එතුමා උපදෙස් දුන්නේය.

වැවිලි ක්ෂේත්‍රයේ ගැටලු නිරාකරණය සඳහා වන සංරක්ෂණ සහ ඉඩම් අමාත්‍යාංශය හවුල් කර ගැනීමට ද මෙහිදී වැඩිදුරටත් තීරණය විය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top