දේශීය

මෙරට දරු උපත්වල සැලකියයුතු පහළ යෑමක්

රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ කැපී පෙනන පහළ යාමක් නිරීක්ෂණය වී තිබේ.

 

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2019 වසරේ සිට 2022 වර්ෂය දක්වා නිකුත් කළ දරු උපත්, මරණ සහ විවාහ පිළිබඳ දත්ත වාර්තාවට අනුව වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ සැලකිය යුතු පහළ යාමක් නිරීක්ෂණය වී ඇති බව වාර්තා වෙයි.

 

2014 වර්ෂයෙන් පසු සෑම වසරකම ලියාපදිංචි උපත් ප්‍රමාණය ක්‍රමිකව පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

 

ඒ අනුව මේ වසරේ ජුලි 01 වන දිනය දක්වා ගතවු වසර තුළ ලියාපදිංචි උපත් ප්‍රමාණය 268,920ක් දක්වා අඩුවී තිබේ.

 

2022 වර්ෂයේ දී වාර්ෂික දරු උපත් සංඛ්‍යාව 275,321ක් වු බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසීය.

 

2021 වසරේදී එම උපත් සංඛ්‍යාව 284,848ක් ලෙස වාර්තාවී ඇති අතර 2020 දී උපත් ලක්ෂ 03 ඉක්මවා වාර්තා වී ඇත.

 

ඒ අනුව මේ වසරේදී උපත් ලියාපදිංචිය පෙර වසරට සාපේක්ෂව 6,401කින් පහත වැටී ඇති අතර 2020 වසරට සාපේක්ෂව උපත් 41,786ක පහළ යාමක් වාර්තා වෙයි.

 

ආර්ථික හා සමාජ ගැටලු, උපත් පාලන සැලසුම්, පවුල් පාලන ක්‍රමවේද, ගෝලීය වසංගත තත්ත්වයන් දරුවන් බිහි නොකිරිමේ තීරණයන්ට හේතුවී ඇති බව සමාජ විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

 

රටේ වාර්ෂික දරු උපත් සංඛ්‍යාවේ කැපීපෙනන පහළ යාමක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වාර්තා මගින් ද තහවුරු වී ඇති බව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේය.

 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරී සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු මහත්මිය පැවසුවේ දිවයින පුරා පවුල් සැලසුම් ක්‍රමවේදයන්ට අනුගතවීමේ සංඛ්‍යාව ද කැපීපෙනන ලෙස ඉහළ ගොස් ඇති බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top