ගොසිප්

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන්ට සැපදී සම්පායෝ අයකර ගත් මුදල්

(UTV |කොළඹ) – මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාව මීගමුව බන්ධනාගාරය තුළදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල සැකකරුවකු ලෙස නම් කර ඉදිරි නීතිමය පියවර ගන්නා ලෙසට විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (18 )දා මීගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මියට මේ බව පෙන්වා දුන්නේය.

එම සැකකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හා අල්ලස් පනත යටතේ වත්කම් හා දේපළ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

අනුරුද්ධ සම්පායෝ මීගමුව බන්ධනාගාරයේ සේවය කළ සමයේ ඔහුගේ මෙහෙයවීම යටතේ රැුඳවියන්ගෙන් විශාල වශයෙන් මුදල් ලබාගෙන ඇති බවත් පහසුකම් සහිත නිදන ඇඳක් ලබාදීමට එක් රැුඳවියකුගෙන් මසකට රුපියල් 25,000 බැගින් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට දැනුම් දුන්නේය.

එකී සැකකරුගේ අධීක්‍ෂණය යටතේ පැවැති සුඛෝපභෝගී පහසුකම් සහිත සිරමැදිරියක රඳවා තැබීමට එක් රැඳවියකුගෙන් මසකට රුපියල් පනස්දහස, ලක්‍ෂය හා ඊට වඩා වැඩි මුදලක් පවා අයකර ඇති බවට මෙන්ම දුරකථන ඇමතුම් දෙක තුනක් ලබා ගැනීමට අවස්ථාව ලබාදුන් විට රුපියල් 500, 1000 බැගින් අයකර ඇති බවටත් තොරතුරු ලැබී ඇතැයිද දිලීප පීරිස් මහතා එහිදී අධිකරණයට පැවසීය.

මිනී මැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා සිටි පි‍්‍රයන්ත අජිත් කුමාර නමැත්තා ලබාදුන් ප‍්‍රකාශ අනුව එකී කරුණු අනාවරණය වී ඇතැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

පසුගිය පෙබරවාරි 13 වැනිදා බුද්ධි අංශ විසින් එම බන්ධනාගාරයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් හා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගත් නමුත් ඒ සම්බන්ධයෙන් මීගමුව පොලිසිය විසින් විධිමත් ආකාරයෙන් මෙතෙක් විමර්ශනයක් සිදුකර නොමැති බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම සැකකරුගේ පාසල් මිත‍්‍රයකු වන මීගමුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගෙන් සාධාරණ පරීක්‍ෂණයක් අපේක්‍ෂා කළ නොහැකි බවද සඳහන් කරමින් අධිකරණයට කරුණු දැක්වීය.

සැකකාර අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය කි‍්‍රයාකර ඇති ආකාරය පිළිබඳව මීගමුව මූලස්ථාන පොලිස් පරීක්‍ෂකවරයාගේ හා අසත්‍ය තොරතුරු වාර්තා කළ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයක ගෙන් ප‍්‍රකාශ සටහන් කර විශේෂ විමර්ශනයක් සිදුකරන බවද එහිදී අධිකරණයට පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විමර්ශන අවසන් වනතෙක් සැකකරුවන්ට ඇප ලබාදුනහොත් ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බැවින් ඇප ලබාදීමක් සිදුනොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ජයනි වෑගොඩපිටිය මහත්මිය හා රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ විරාජ් වීරසූරිය යන මහත්ම මහත්මීන් සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පැමිණිල්ල මෙහෙයවිය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top