දේශීය

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නිලධාරීන් හට STF ආරක්ෂාව ලැබිලා

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකටයුතු මත්ද්‍රව්‍ය නාශක නිලධාරීන් හට පොලිස් විශේෂ කාර්ය බළකායේ ඇතැම් නිලධාරීන්ගේ සහාය ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා ඊයේ (21) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය වෙත දැනුම් දුන්නේය. 

සැකකාර පොලිස් නිලධාරීන් ඇතුළු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග එක්ව ජාත්‍යන්තර මුහුදු සීමාවේ සිට බෝට්ටු මාර්ගයෙන් අති විශාල හෙරොයින් ප‍්‍රමාණයක් රැගෙන විත් ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන්කර ඇත.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන සිද්ධියට සම්බන්ධ නඩුව ඊයේ දින අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙලෙස අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අදාළ සැකකරුවන් සෞඛ්‍ය ආරක්ෂක හේතුන් මත මේ වනවිට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිටින බැවින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබිණි.

2017 වසරේ සිට මහා පරිමාණයෙන් සිදුකර ඇති එකී ජාවාරමෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සැකකාර නිලධාරීන් රුපියල් දස කෝටි 50 ලක්‍ෂයකට අධික මුදලක් උපයාගෙන ඇති බවද දිලීප පිරිස් මහතා එහිදී සඳහන්කර ඇත.

ජාත්‍යන්තර මුහුදේ සිට මෙරටට හෙරොයින් රැගෙන ඒමට උදව් කළ බෝට්ටුකරුවන්ට හා සිය ඔත්තුකරුවන් ලෙස යොදාගත් පිරිසට රුපියල් කෝටි ගණනින් තුටුපඩුරු දී ඇති සැකකාර නිලධාරීන් සම්බන්ධයෙන් නිසි අධීක්‍ෂණයක් සිදු නොකළ වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එකී ජාවාරම්වලට වගකිවයුතු යැයිද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණය හමුවේ පෙන්වා දී ඇත.

කැමිලස් පිල්ලේ නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟ එක්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් මෙම ජාවාරම සිදුකර තිබෙන බවත් අන්තර්ජාතික වශයෙන් හෙරොයින් රට තුළට ඒමට ක්‍රියා කර ඇති මෙම සැකකරුවන් කලාපිය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වැළැක්වීමට සාමුහිකව ක්‍රියාකර නැති බවත් අධිකරණය හමුවේ ප්‍රකාශකර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් නිලධාරීන් පස් දෙනෙකු සහ සිවිල් වැසියන් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු රහස් පොලිසියේ රඳවාගෙන සිටින බවත්, ප්‍රශ්න කිරීම් අඛණ්ඩව සිදුකරන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් දන්වා සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top