Coronavirus Outbreak

බීජිං නුවර යළිත් කොරෝනා පොකුරක් මතුවීමෙන් පාසලුත් වසා දැමෙයි

(UTV |කොවිඩ් 19) – ගතවූ දින 5 තුළදී නව කොරෝනා ආසාදිතයන් 100 කට වැඩි පිරිසක් හඳුනාගැනීමත් සමග චීනයේ බීජිං අගනුවර පාසල් වසා දැමීමට නගර බලධාරීහු ඊයේ දින (16) පියවර ගත්හ.

චීනයේ බීජිං අගනුවරින් නව වෛරස් ආසාදිත පොකුරු හමුවීමත් සමඟ රට තුළ දෙවැනි රැල්ලක් ඇති වීමේ අවදානමක් ද හටගෙන තිබෙන අතර , මේ තත්ත්වය හේතුවෙන් බීජිං අගනුවර පාසල් වසා දමන්නැයි එම නුවර අධ්‍යාපන කොමිසම නියෝග කළේය.

බෙයිජිං අගනුවරට එළවලු –පළතුරු සහ මුහුදු ආහාර අලෙවි කරන ප්‍රධානතම වෙළඳසැල ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් පොකුරක් සොයාගෙන තිබේ.

බීජිං අගනුවර මිලියන 21කට ආසන්න පිරිසක් ජීවත් වෙති.

‘වීචැට්’සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ පණිවුඩයක් නිකුත් කරමින් පාසල් වසා දමන්නැයි නියෝග කළ බීජිං අධ්‍යාපන කොමිසම බදාදා සිට අන්තර්ජාලය ඔස්සේ ඉගැන්වීම් කටයුතු ආරම්භ කරන්නැයි ද දැනුම් දුන්නේය.

විශ්වවිද්‍යාලවලට සිසුන් ගෙන්වා ගැනීම තාවකාලිකව නවතා දමන්නැයි එම කොමිසම උපදෙස් දී ඇත.

එමෙන්ම නගරයේ අවන්හල් 33,000 පමණ විශබීජහරණය කිරීමට ද බෙයිජිං බලධාරීන් පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top