දේශීය

බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනයට හෙට සිට අවසර

(UTV | කොළඹ) – කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල හෙට (13) සිට ලංගම සහ පෞද්ගලික බස් රථවල සහ දුම්රියේ ආසන ගණනට මගීන් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා දීමට තීරණය කර තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිවේදනය කළේ එම අවසරයට අනුව, එහිදී ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා සඳහා අදාළ වැඩබිම්වලට වාර්තා කරන පිරිස් සඳහා පමණක් බවයි.

ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර සමඟ එම අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති අතර, ඒ සඳහා  ප්‍රවාහන බලධාරින්, අමාත්‍යාංශ නිලධාරින් මෙන්ම මගී ප්‍රවාහන සේවාවල නිරත සංගම්වල නියෝජිතයින් ද එක්වුණි.

ආසන ගණනට මගීන් ප්‍රමාණය කිරීමේ දී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට එම තීරණය හෙට දින (13) ක්‍රියාත්මක කිරීමට තාක්ෂනික ගැටලු ඇත්දැයි අමාත්‍යවරයා දුම්රිය බලධාරින්ගෙන් විමසා සිටිය අතර ඔවුන් කියා සිටියේ තමන්ට එවැනි ගැටළුවක් නොමැති බවත් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ කටයුතු ද හෙට සිට ආරම්භ කළ හැකි බවයි.

ඒ අනුව මෙම තීරණය හෙට දින සිටම ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා තීරණය කර තිබේ.

• දැනට ඇදිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු සියලුම දිස්ත්‍රික්කවල  දුම්රියේ  ආසන ගණනට මගීන් ප්‍රවාහනය සඳහා අවසර ලබා දෙන අතර එහිදී ද ප්‍රමුඛත්වය ලබා දෙනු ලබන්නේ රාජ්‍ය හා පුද්ගලික අංශයේ සේවා සඳහා අදාල වැඩබිම්වලට සේවය වාර්තා කරන පිරිස් සඳහා පමණි.

• සාමාන්‍ය මගී ජනතාවට ප්‍රවාහන සේවා සේවා සඳහා දුම්රිය යොදා ගැනීමේ දී  අත්‍යාවශ්‍යම කාරණා සඳහා පමණක් සීමා කරන අතර, අනවශ්‍ය ගමන් බිමන් සඳහා ප්‍රවාහන සේවා යොදා ගැනීමට කටයුතු නොකර ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

• දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මෙන්ම වාර ප්‍රවේශ පත්‍ර නොමැති අයට ටිකට්පත් නිකුත් කිරීම ද හෙට දින සිට ආරම්භ කෙරෙන අතර ඔවුන් සේවය කරන ආයතනයේ හැදුනුම් පත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

• සාමාන්‍ය මගී ජනතාව වෙත කෙරෙන නිවේදනය නම් කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් අනුව අත්‍යාවශ්‍යම කටයුත්තකට හැර පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට කටයුතු  නොකළ යුතුය යන්නයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top