දේශීය

බම්බලපිටියේ ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලයි – අධ්‍යක්ෂවරිය අත්අඩංගුවට

ව්‍යාජ අධ්‍යාපන ආයතනයක් වටලා එහි අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

නොවැම්බර් මස 27 වනදා බම්බලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත බම්බලපිටිය, ලොරිස් පාර ප්‍රදේශයේ පිහිටි අදාළ අධ්‍යාපන ආයතනය වටලා සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

 

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 24ක් වූ ගිරිඋල්ල, නාරංගමුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

 

දේශීය හා විදේශීය රැකියාවලට අවශ්‍ය කරන ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා අධ්‍යාපනය ලබාදෙන බවට මුහුණුපොතේ දැන්වීම් පළ කරමින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් බඳවා ගෙන මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබේ.

 

ඔන්ලයින් ක්‍රමයට අධ්‍යාපන වැඩමුළු පවත්වමින්, නීත්‍යානූකූල අනුමැතියකින් තොරව අධ්‍යාපනය ලබාදීමෙන් පසු එම ආයතනය මඟින් ව්‍යාජ ඩිප්ලෝමා සහතික නිකුත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

දේශීය වශයෙන් හෝ ජාත්‍යන්තර වශයෙන් අවශ්‍ය කරන නියමිත ප්‍රමිතීන්ගෙන් තොරව එම ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, එක් ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා පාඨමාලාවේ වර්ගය අනුව රුපියල් 100,000ක සිට රුපියල් 445,000 දක්වා මුදල් අයකරගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

 

මේ වනවිට ඊට අදාළ පැමිණිලි 43ක් ලැබී ඇතැයි පොලීසිය පවසයි.

 

තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලබා ගත යුතු වුවද එම කොමිෂන් සභාවේ ලියාපදිංචි වීමකින් තොරව අනවසරයෙන් ව්‍යාජව පවත්වාගෙන ගොස් ඇති බවට ද අනාවරණය වී තිබේ.

 

මෙම සැකකාරිය එම ආයතනයේ අධ්‍යකෂවරිය ලෙස කටයුතු කර ඇති අතර, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මම වංචාවලට හසුවු පුද්ගලයින් 1000කට ආසන්න ප්‍රමාණයක් සිටින බවටත් අනාවරණය වී ඇත.

 

මෙම ආයතනය මඟින් විවිධ විද්‍යුත් මාධ්‍යයන් උපයෝගි කර ගනිමින් රැකියා අවස්ථා ලබාදීමට, උසස් අධ්‍යාපනයට දැන්වීම් පළකරමින් තවදුරටත් මුදල් එකතු කිරීමේ කටයුතු නිරතවන බවට වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වී තිබේ.

 

එම ආයතනයේ සම අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ලද අවුරුදු 25ක වන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බම්බලපිටිය පොලීසිය විමර්ශන සිදුකරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top