ක්‍රීඩා

බංග්ලාදේශ හා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර ඊයේ ඇති වූ සියලු සිදුවීම් මෙන්න – ඡායාරූප සහිතව

උණසුම් සටනකින් පසු කඩුළු දෙකකින් ශ්‍රී ලංකාව පරාජය කළ බංග්ලාදේශ කණ්ඩායම නිදහස් කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදසුකම් ලබාගැනීමට ඊයේ රාත්‍රියේ සමත් වුණා. ඒ, තරගයේ අවසන් පන්දුවාරයේ එක් පන්දුවක් ඉතිරිව තිබියදීයි. කාසියේ වාසිය හිමිකරගත් බංග්ලාදේශ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර විස්ස තුළ කඩුළු 7 ක් දැවී ලකුණු 159 ක් රැස් කළා.

ශ්‍රී ලංකා පිලේ මුල් කඩුළු 5 බිද වැටුණේ ලකුණු 41 ක් තුළයි. ඉන් අනතුරුව පිටියේ එක්වූ කුසල් ජනිත් පෙරේරා සහ තිසර පෙරේරා හය වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 97 ක විශිෂ්ඨ සබදතාවක් ගොඩනැගුවා. පන්දු 40කදි කුසල් ජනිත් පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 61 ක්. ඒ, හතරේ පහර 7 ක් සහ එක් හයේ පහරක් සමගයි. තිසර පෙරේරා පන්දු 37 කදී ලකුණු 58 ක් රැස් කළේ හතරේ පහර 3 ක් සහ හයේ පහර 3 ක් ද සමගයි.

පන්දු යැවීමේදී මුස්තාෆිසූර් රහමන් ලකුණු 39 කට කඩුළු දෙකක් බිද හෙළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ ජය වාර්තා කළේ විසිවන පන්දුවාරයේ 5 වන පන්දුවේදීයි. ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් පන්දු 42 කදී ලකුණු 50 ක් රැස් කළා. බංග්ලාදේශ කණ්ඩායම ජයග‍්‍රහණය සදහා රැගෙනගිය මහමුදුල්ලා පන්දු 18 කදී නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 43 ක්. තරගයේ අවසන් පන්දුවාරයේදී ජයග‍්‍රහණය සදහා බංග්ලාදේශ කණ්ඩායමට ලකුණු 12 ක් අවශ්‍ය වුණා.

ඉසුරු උදාන යැවූ එම පන්දුවාරයේ පළමු පන්දු දෙකට ලකුණු ලබා ගැනීමට බංග්ලාදේශ පිතිකරුවන්ට හැකිවූයේ නැහැ. එම පන්දු දෙකම යොමු වූයේ පිතිකරුගේ හිසට ආසන්නයෙන්. දෙවන පන්දුව නීතිවිරෝධී පන්දුවක් ලෙස ඉල්ලා බංග්ලාදේශ ක්‍රීඩකයින් විනිසුරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමත් සමග ක්‍රීඩා පිටියේ ඇති වූයේ උණසුම් තත්ත්වයක්.

කෙසේවෙතත් විනිසුරුවරුන් සිය තීරණය වෙනස් නොකිරීමත් සමග නායක ශකීබ් අල් හසන් ඊට දැඩි ලෙස විරෝධය පළ කරමින් ක්‍රීඩාපිටියේ සිටි පිතිකරුවන් දෙදෙනාට ඉවත් වන ලෙස දන්වා සිටියා.

කෙසේවෙතත් පිටියේ රැදී සිටි මහමුදුල්ලා සහ රුබල් හුසේන් පිටියෙන් ඉවත් වුයේ නැහැ. තරගය විනාඩි කිහිපයකට පසු යළි ආරම්භ වූ අතර බංග්ලාදේශයට අවසන් පන්දු හතරේදී ලකුණු 12 ක් ලබාගැනීමට අවශ්‍යව තිබුණා. එම පන්දුවාරයේ තුන්වන පන්දුවට හතරේ පහරක් එල්ල කළ මහමුදුල්ලා සිව්වන පන්දුවේදී තවත් ලකුණු 2ක් රැස් කළා. ඒ අනුව අවසන් පන්දු දෙකේදී බංග්ලාදේශයේ ජයග‍්‍රහණයට අවශ්‍ය වූයේ ලකුණු 6 ක් පමණයි. ඉසුරු උදානගේ පස්වන පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කළ මහමුදුල්ලා තරගයේ ජය බංග්ලාදේශ කණ්ඩායමට අත්කර දුන්නා.

මින් අනතුරුව, තරගයේ ජය සමරමින් සිටි බංග්ලාදේශ ක්‍රිඩකයන් අතින් ඔවුන් රැඳී සිටි ක්‍රීඩකාගාරයේ දොරටුව බිඳී ගොස් තිබෙනවා. තරගයෙන් අනතුරුව බංග්ලාදේශ ක්‍රීඩකයන් ජය සැමරීම සඳහා ක්‍රීඩකාගාරයේ සිට දිව එද්දි දොරටුවට හානි වී ඇති බවයි මේ වන විට ඔවුන් පවසන්නේ.‍

කෙසේ වෙතත්, දේපළවලට සිදුවූ හානිය ගෙවීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය එකඟ වි ඇති බව වාර්තා වෙන්නේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/jevan.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/03/bang.png”]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top