විදෙස්

පිට ව යාම සඳහා සූදනමින් සිටි ගිලන් රථවලට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්

ගාසා තීරයේ විශාලතම රෝහල වන අල් ෂිෆා රෝහල අසලට එල්ල වූ ප්‍රහාරයකින් 13 දෙනෙකු මිය ගොස් තිබේ.

 

ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන් ගෙන් එල්ල වී ඇත්තේ, දැඩි විරෝධයකි.

 

මෙවන් පසුබිමක, ප්‍රාණඇපකරුවන් නිදහස් කරන තෙක් සටන් විරාමයකට එකඟ නොවන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පැවසීය.

 

ගාසා තීරයේ විශාලතම රෝහල ලෙස පැවසෙන අල් ෂිෆා රෝහලේ පිවිසුම අසලට ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

 

එය එල්ල වී තිබුණේ, තුවාලකරුවන් පිරිසක් රැගෙන රෆා පිවිසුම වෙත යාමට සූදානම් කර තිබූ ගිලන් රථ කිහිපයක් වෙතය.

 

ප්‍රහාරයෙන් 13 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබිණි.

 

මේ අතර, අවතැන් වූ පිරිස් රැඳී සිටි පාසලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් තවත් පුද්ගලයන් 20 දෙනෙකු මිය ගොස් තිබේ.

 

මේ අතර, දකුණු ගාසා තීරය වෙත යමින් සිටිය දී එල්ල වූ ප්‍රහාරයකින් දරුවන් ද ඇතුළු ව 14 දෙනෙකු මියගොස් සිටි අයුරු දැක්වෙන වීඩියෝවක් රොයිටර්ස් මාධ්‍යය වාර්තා කළේය.

 

මෙම ප්‍රහාරය පිළිබඳ මෙතෙක් නිශ්චිත කරුණු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

 

මේ අතර, ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් අඛණ්ඩව 29 වැනි දිනටත් ක්‍රියාත්මකයි.

 

ඊශ්‍රායලය ගාසා තීරය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමක ගොඩබිම් ගැටුම් ද තීව්‍ර වෙමින් පවතියි.

 

මේ අතර, උතුරු ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් සිදු කෙරෙන වීඩියෝවක් හමාස් සංවිධානය නිකුත් කර තිබිණි.

 

යුද ගැටුම් ආරම්භයේ සිට මිය ගිය පලස්තීන ජාතිකයන් ගණන 9,200 ඉක්මවා ඇත.

 

මෙවන් පසුබිමක ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසන්නේ, ප්‍රාණඇපකරුවන් නිදහස් කරන තෙක් සටන් විරාමයකට එකඟ නොවන බවයි.

 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු මහතා,

 

“අපේ ජයග්‍රහණය ඒකීය සහ පැහැදිලි එකක්. ඉන් අපේ සතුරන්ට පරම්පරා ගණනාවක් මතකයේ රැඳෙන පණිවුඩයක් ලබාදෙනවා. අපේ සතුරන් ගේ අරමුණ ඊශ්‍රායලය විනාශ කිරීම. මම අපේ සතුරන්ට කියන්නේ, ඔබ විනාශ වෙනවා. එක වැරැද්දකට ඔබට සිතා ගැනීමට නොහැකි තරම් විශාල ප්‍රතිවිපාක විඳින්න සිදු වේවි”

 

මේ අතර, හිස්බුල්ලා නායක හසන් නසරල්ලා යුද ගැටුම් ආරම්භයෙන් පසු පළමු වරට ඊයේ මැද පෙරදිග යුදමය තත්ත්වය පිළිබඳ අදහස් දැක්විය.

 

හිස්බුල්ලා නායක හසන් නසරල්ලා,

 

“හමාස් සංවිධානය දරුවන් ඝාතනය කළ බවට ඔවුන් චෝදනා කළා. නමුත් ඊට සාක්ෂි ඉදිරිපත් කරන්න ඔවුන්ට නොහැකි වුණා. සන්නද්ධ නොවන ගාසා වැසියන්ට එරෙහි යුද්ධයට වගකිව යුත්තේ අමෙරිකාව කියන එක අපි හැමෝම තහවුරු කළ යුතුයි”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top