දේශීය

පාසැල් ඇරඹීමට පෙර සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට

(UTV | කොළඹ) – නව වාරය සඳහා පාසැල් විවෘත කිරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ යටතේ අද සිට දින 05 ක් මෙම සෞඛ්‍ය ක‍්‍රමවේද පිළිබඳ දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දැනුවත් කරනු ඇති.

මෙම නව ක‍්‍රමවේදයට අදාල සෞඛ්‍ය නිර්දේශ දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙබ් අඩවියටද යොමු කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වනදා සිට විවෘත කෙරෙනු ඇති.

තවද ඊයේ දිනයේ නිවේදනය කෙරුණේ, හුදකලා කරන ලද ප්‍රදේශවල පිහිටි පාසල් හැර බස්නාහිර පළාතේ සෙසු පාසල් 11 ශ්‍රේණිය සඳහා පමණක් ජනවාරි 25 වනදා සිට විවෘත කරන බවයි.

පාසල් ආරම්භ කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යංශය විසින් ඒ ඒ පාර්ශ්ව වෙනුවෙන් නිකුත් කරන ලද උපදෙස් සංග්‍රහයේ ඇතුළත් කරුණු පහත පරිදි වේ.

විදුහල්පතිවරුන් සඳහා උපදෙස් (පාසල් ආරම්භ කිරීම සඳහා පෙර සූදානම) : –

● 2021 ජනවාරි මස 06, 07 , 08, 09 සහ 10 යන දිනවල දී සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට යටත්ව සීමිත දෙමාපියන් සහ ආදි ශිෂ්‍ය සංගම් සාමාජික පිරිසක් සහභාගි කර ගනිමින් පාසල ඇරඹීම සඳහා පූර්ව සූදානම් කිරීමේ කටයුතු සිදු කිරීම.

● එම කටයුතු පිළිබඳ පාසල් ප්‍රජාවගේ අදහස් ,යෝජනා ලබාගෙන අවශ්‍ය සංශෝධන ඉටු කිරීම.

● කොවිඞ් -19 වසංගත තත්ත්වය යටතේ පාසල් ගුරුවරුන් සහ කාර්ය මණ්ඩලය ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , මහජන සෞඛ්‍ය පරීක්ෂක සමග එක්ව අවශ්‍ය කටයුතු කිරීම.

● චක්‍රලේඛ අංක 15/2020 කොවිඞ්-19 පැතිරීම වැළැක්වීම සඳහා පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම පිළිබඳ චක්‍රලේඛය අනුගමනය කරමින් කටයුතු කිරීම.

●පාසල ආරම්භ කිරීමෙන් පසු සෞඛ්‍යාරක්ෂිත බව පවත්වාගෙන යාම

● පාසලට පැමිණෙන සිසුන් සුහදව පිළිගැනීම තුළින් පවතින අභියෝගයට මුහුණ දීමට ශක්තිය ලබා දීම.

● පාසලට සිසුන් පැමිණීමේ දී , පාසල තුළ දී, හා පාසලෙන් පිටව යන අතරමග මුව ආවරණ පැළඳීම අනිවාර්ය කිරීම, ප්‍රාථමික අංශයේ දරුවන්ට අපහසු නම් දුරස්ථභාවය ආරක්ෂා වන අවස්ථාවල මුව ආවරණ ලිහිල් කිරීමට අවස්ථාව ලබා දීම සහ මුහුණු ආවරණ පැළඳීමට අවස්ථාව ලබා දීම.

● පාසලට ඇතුළුවීමේ දී සියලුම සිසුන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම සහ අවශ්‍ය අවස්ථාවක දී නැවත පන්ති කාමර තුළ දී ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම.

● සිසුන් පාසලට ඇතුළුවීමේ දී දෑත් සේදීම අනිවාර්ය කිරීම හා එය නිවැරදිව සිදුවන්නේදැයි දිනපතා පරීක්ෂා කිරීම.

● සිසුන් අතර දුරස්ථභාවය පවත්වා ගැනීම .

● සිසුන් එක්රැස් වීම වැළැක්වීම සඳහා පන්ති මට්ටමින් අවශ්‍ය පරිදි විවේක කාලය සකස් කර ගැනීම.

● නිවසෙන් රැගෙන එන ආහාර, ජලය හා උපකරණ හුවමාරු කර ගැනීම වැළැක්වීම. ● එකිනෙකා ස්පර්ශ වන ආකාරයේ අවදානම් සහගත ක්‍රීඩාවන්හි යෙදීම වැළැක්වීම හා ශාරීරික යෝග්‍යතා ක්‍රියාකාරකම් දුරස්ථභාවය පවත්වාගනිමින් සිදු කිරීම.

● හදිසි අවස්ථාවක දී ඇමතීම සඳහා අවශ්‍ය දුරකථන අංක සහ තොරතුරු රැස්කර තම කාර්යාලයේ ප්‍රදර්ශනය කිරීම හා ඒ පිළිබඳ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම.

● හදිසියේ පාසලේ රෝගී අයෙකු වාර්තා වූ අවස්ථාවක දී රෝගියා ගිලන් කාමරයේ රඳවා ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ උපදෙස් අනුව කටයුතු කිරීම.

● විදුහල්පතිගේ ප්‍රධානත්වයෙන් පාසලේ සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව සක්‍රීයව පවත්වාගෙන යාම තුළින් කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමට ක්‍රියාමාර්ග ගැනීම සහ කාර්ය මණ්ඩලයට වගකීම් පැවරීම.

● පාසල සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් බවට පත්කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම හා දෙමාපියන් ඇතුළු පාසල් ප්‍රජාව අතර එම විශ්වාසය තහවුරු කිරීම.

● පාසල ආරම්භ කිරීමට පෙර සූදානම සහ ආරම්භ කළ පසු සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ පිරික්සුම් ලේඛන නිවැරදිව පවත්වාගෙන යාම.

● දරුවන්ගේ මානසික සෞඛ්‍ය ඉහළ නැංවීමේ ක්‍රියාකාරකම් සිදු කිරීම.

● උණ, ශ්වසන රෝග ලක්ෂණ සහිත දරුවන් , නිරෝධායනය කළ පවුල්වල දරුවන් , කොවිඩ් රෝග පරීක්ෂණ සිදුකළ පවුල්වල දරුවන් සෞඛ්‍ය උපදෙස් ලැබෙන තුරු පාසලට එවීමෙන් වළකින ලෙස දෙමාපියන් දැනුවත් කිරීම.

● කොවිඩ් – 19 වෛරසය සම්බන්ධ කුමන හෝ තත්ත්වයක් නිසා නිවසේ රැඳෙන දරුවන් සඳහා එදිනෙදා අධ්‍යාපන කටයුතු සිදුකර ගැනීමට සහය වීම.

දෙමාපියන් සඳහා උපදෙස් : –

★ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව හෝ උණ වැනි රෝග ලක්ෂණ තිබේනම් තම දරුවන් පාසලට එවීමෙන් වැළකී සිටීම.

★ නිවසේ සාමාජිකයකු නිරෝධායනය කර ඇත්නම් තම දරුවන් පාසලට එවීමෙන් වැළකී සිටීම.

★ පවුලේ සාමාජිකයකුගේ හෝ දරුවන්ගේ PCR පරික්ෂණ, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සිදුකර ඇත්නම් එම වාර්තාව අනුව සෞඛ්‍ය උපදෙස් ලැබෙනතුරු දරුවන් පාසලට එවීමෙන් වැළකී සිටීම.

★ හුදකලා කරන ලද ප්‍රදේශවල සිට අනෙකුත් ප්‍රදේශවල පිහිටි පාසල් වෙත දරුවන් එවීමෙන් වැළකී සිටීම.

★ තම දරුවා භාවිත කරනු ලබන උපකරණ (පාසල් බෑගය/වතුර බෝතල්/කෑම පෙට්ටිය/පොත්පත් ආදිය) පිරිසිදු කිරීම හෝ අව්වේ දමා වේලා ගැනීම.

★ දිනපතා දරුවාගේ ඇඳුම් සහ සපත්තු පිරිසිදු කිරීම.

★ පාසල් ගොස් පැමිණි විට දරුවාගේ අත් සේදීම හා දරුවා පිරිසිදු කිරීම.

★ පාසලේ සිට නිවසට පැමිණි පසු සපත්තු පිටත ගලවා පැමිණීම.

★ භාවිත කර ඉවත දමන මුව ආවරණ ගිනි තබා විනාශ කිරීම.

★ කිවිසින විට භාවිත කළ ටිෂූ කඩදාසි ආවරණය කළ භාජනයකට දමා එකතුකර පුළුස්සා දැමීම.

★ නිවසේ දී පිළියෙල කර ගත් ආහාරපාන පමණක් දරුවාට ලබා දිය යුතු අතර, සැමවිටම දරුවා පරිහරණය කරන ද්‍රව්‍ය, පෞද්ගලිකව පරිහරණය කිරීමට උපදෙස් ලබා දීම .

★ පාසල නිම වූ විගස තම දරුවන්ට නිවෙස් කරා ඒමට උපදෙස් ලබා දීම, රැගෙන යාම.

★ පාසලට පැමිණීමේ දී හා නිවෙස් කරා යාමේ දී යොදා ගනු ලබන පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන මාධ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුව භාවිත කිරීමට තම දරුවන්ට උපදෙස් ලබා දීම.

★ තම ප්‍රදේශයේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධ යම් ගැටලුවක් පවතින්නේ නම් ඒ පිළිබඳ විදුහල්පති දැනුවත් කිරීම මගින් පාසලට සිදුවිය හැකි අනිසි බලපෑම අවම කර ගැනීම සඳහා සහය වීම.

සිසුන් සඳහා උපදෙස් : – 

★ පාසල් පරිශ්‍රයට පිවිසීමේ දී සබන් ගා අත් සේදීම සහ පාවහන් විෂබීජහරණයට ලක් කිරීම.

★ දුරස්ථභාවය පවත්වා ගනිමින් කටයුතු කිරීම.

★ පොත්පත්, පෑන් ආදිය හවුලේ භාවිතයෙන් වැළකීම.
★ පාසල් කාලය තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පැළඳීම හා අමතර මුව ආවරණ පොත් බෑගයේ තබා ගැනීම.
★ විෂබීජ නාශක දියර රැගෙන ඒම හා අවශ්‍ය අවස්ථාවල දී භාවිත කිරීම.

★ පාසලේ දී මුව ආවරණ වැඩි වේලාවක් පැළඳිය නොහැකි, අපහසුතා සහිත සිසුන් මුහුණු ආවරණ පලිහ භාවිත කිරීම.

★ ආහාර ගැනීමේ දී හෝ වෙනත් අවස්ථාවක මුව ආවරණය තාවකාලිකව ඉවත් කිරීමේ දී පිරිසිදු කවරයක බහා තැබීම හෝ ඇඳුමේ රඳවා ගැනීම.

★ මුව ආවරණය කිසිම අවස්ථාවක පොදු ස්ථානවල තැබීම සිදු නොකළ යුතු ය.

★ කැස්ස හා කිවිසීමක් ඇතිවන අවස්ථාවල දී වැලමිටෙන් මුව හා නාසය ආවරණය කර ගැනීම හෝ ටිෂූ භාවිත කිරීම සහ ඒවා නිසි පරිදි බැහැර කිරීම.

★ ආහාර ගැනීම සඳහා හෝ වෙනත් අවස්ථාවක මුව ආවරණය තාවකාලිකව ඉවත් කර නැවත පැළඳීමේ දී දෑත් හොඳින් පිරිසිදුකරගෙන නැවත පැළඳීම සහ අන් අයෙකුගේ මුව ආවරණය කිසිසේත්ම භාවිත නොකිරීම.

★ පන්ති කාමරයෙන් ඉවතට ගොස් නැවත පැමිණීමේ දී හෝ කුමන හෝ මතුපිට පෘෂ්ඨයක් ඇල්ලීමෙන් පසු දෑත් සේදීමට කටයුතු කිරීම.

★ ආහාර හා ජල බෝතල් හුවමාරු කර ගැනීමෙන් වැළකීම.

★ පාසල තුළ හා ඉන් පිටත කණ්ඩායම් වශයෙන් ඒකරාශි වී සිටීමෙන් වැළකීම.

★ පාසල නිමා වූ විගස නිවෙස් කරා යාමට කටයුතු කිරීම.

★ පාසලට පැමිණීමේ දී හා නිවෙස් කරා යාමේ දී යොදා ගනු ලබන පෞද්ගලික හෝ පොදු ප්‍රවාහන සේවාවන්හි දී සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය කිරීම.

★ තමාට යම් අසනීප තත්ත්වයක්, උණ, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග තත්ත්වයක් පවතින්නේ නම් එම තත්ත්වය මගහැරෙනතුරු පාසලට නොපැමිණීම.

★ තම නිවසේ අයෙකු නිරෝධායනය කර ඇත්නම් හෝ කොවිඞ් 19 රෝගියෙකු ඇසුරුකර ඇත්නම් සෞඛ්‍ය උපදෙස් අනුව නැවත දැනුම් දෙනතුරු පාසල් නොපැමිණීම.

★ පාසලේ දී හෝ ඉන් බැහැර දී අනවශ්‍ය ලෙස මතුපිට පෘෂ්ඨ ඇල්ලීමෙන් වැළකීම.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top