විදෙස්

පාකිස්තාන මහ මැතිවරණය නොවැම්බරයේ ?

ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. පක්ෂය දැඩි මර්දනයකට ලක්කළ පාකිස්තානයේ ෂෙබාස් ෂරීෆ් රජය මේ වසරේ නොවැම්බරයේ මහමැතිවරණය පැවැත්වීමට සැලසුම් කරන බව වාර්තා වේ.

 

පසුගිය වසරේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංගයක් ඉම්රාන් ඛාන්ගේ රජය පෙරලා බලයට පත්වුවද, ෂෙබාස් ෂරීෆ් රජයේ නිල කාලය අගෝස්තු 31 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

 

ඒ ඉම්රාන් ඛාන්ගේ සිව් වසරක පාලනය ඇතුළුව පාකිස්තානයේ වත්මන් ව්‍යවස්ථාපිත රජයේ නිල කාලයයි.

 

එලෙස නිල කාලය අවසන් වූ පසු දින 60ක් තුළ මහමැතිවරණය පැවැත්විය යුතු වේ.

 

එහෙත් ඊට පෙර පාකිස්තාන ජාතික සභාව නැත්නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඒ සඳහා දින 90ක කාලයක් හිමිවේ.

 

අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කළේ නිල කාලය අවසන් වීමට පෙර ජාතික සභාව විසුරුවා හැරීමට කටයුතු කරන බවය.

 

ඒ අනුව පාකිස්තාන මහමැතිවරණය නොවැම්බර් මාසයේදී පැවැත්වෙනු ඇති බව එරට මාධ්‍ය වාර්තා කළේය.

 

ඒ වනවිට ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ පි.ටී.අයි. පක්ෂයට නිශ්චිත අදහසක් පළ කළ හැකිවන්නේ නැත.

 

ඒ ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ පක්ෂයට එරෙහිව ෂෙබාස් ෂරීෆ් රජය ත්‍රස්ත මර්දන අධිකරණය හරහා නීතිමය ක්‍රියාමාර්ගයවලට පිවිසි තිබීම හේතුවෙනි.

 

ලාහෝර් නුවර ඊයේ පැවති තරුණ පෙළට ණය ආධාර බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කළේ ඔහුගේ සොහොයුරු හිටපු අගැමති නවාස් ෂරීෆ් පාකිස්තානය නැවතත් ප්‍රගතිය සහ සශ්‍රීකත්වය කරා රැගෙන යනු ඇති බවය.

 

එය නවාස් ෂරීෆ් මීළඟ මහමැතිවරණය සඳහා ඉදිරිපත් වන බවට ප්‍රබල ඉඟියක් ලෙස පාකිස්තාන මාධ්‍ය හඳුන්වයි.

 

මේ අතර පසුගිය මූල්‍ය වර්ෂය තුළ පාකිස්තානයට ඩොලර් මිලියන 8.3ක ප්‍රේෂණ සහ අපනයන ආදායමක් අහිමි වි ඇති බව නිල දත්ත මඟින් අනාවරණය වේ.

 

දැඩි මූල්‍ය අර්බුදයකට සහ විදේශ සංචිත හිඟයකට මුහුණදෙන පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඩොලර් බිලියන 3ක ණය වැඩසටහනකට පසුගියදා එළඹුණි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top