දේශීය

ප්‍රතිපත්ති පොලි අනුපාත තවදුරටත් අඩු කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තවදුරටත් මෙරට ආර්ථික කටයුතුවලට සහාය වීම සඳහා ප්‍රතිපත්ති පොලි අනුපාත තවත් අඩු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය අද (6) දින පැවති විශේෂ රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබේ.

මහ බැංකුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වෙයි ,

“ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 මැයි 06 වැනි දින පැවැති විශේෂ රැස්වීමේ දී වර්තමාන මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය සමාලෝචනය කිරීමෙන් අනතුරු ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින් සියයට 5.50 සහ සියයට 6.50 දක්වා පදනම් අංක 50කින් 2020 මැයි මස 06 වැනි දින ව්‍යාපාර කටයුතු අවසානයේ සිට බල පැවැත්වෙන පරිදි අඩු කිරීමට තීරණය කළේ ය. උද්ධමන පීඩන අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ කොවිඩ්-19 වසංගතය හේතු කොට ගෙන ඇති වන අහිතකර ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ ඇති අවශ්‍යතාව සලකා බලමින් මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹුණි. මෙම තීරණයත් සමඟ මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා ගන්නා ලද අනෙකුත් ක්‍රියාමාර්ගවලට අමතර ව 2020 වසරේ මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 150කින් අඩු කර ඇත.

වසර තුළ මේ දක්වා කාලය තුළ මුදල් ප්‍රතිපත්තිය සහ මුදල් තත්ත්වයන් ලිහිල් කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුකූල ව වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් නැති බව මුදල් මණ්ඩලය විසින් කණස්සල්ලෙන් යුතු ව නිරීක්ෂණය කරන ලදී. එම නිසා, තවදුරටත් ප්‍රමාදයකින් තොර ව ණය අනුපාතික අඩු කරන ලෙස මූල්‍ය ආයතනවලින් දැඩි ව ඉල්ලා සිටින අතර, එසේ නොවුණහොත්, වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ දැමීම සඳහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු වනු ඇත.

මුදල් ප්‍රතිපත්ති තීරණය: ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50කින් අඩු කරන ලදී.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)    5.50%
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)    6.50%
බැංකු අනුපාතිකය    9.50%
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR) 4.00% (නොවෙනස් ව පවතී)”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top