විදෙස්

නිදහසේ ක්ෂේම භූමිය ඝාතන රැල්ලකින් වැසී යයි

Land of Liberty, නැත්නම් නිදහසේ ක්ෂේම භූමිය ලෙස විරුදාවලී ලත් ලොව බලවත්ම රාජ්‍ය වන අමෙරිකා එක්සත් ජනපදයේ 247 වන නිදහස් දිනය උදාවූයේ සමූල ඝාතන සිද්ධීන් කිහිපයක්ද සමගිනි.

 

එහෙත් එම දිනයේදී (ජුලි 4) තවත් සමූහ ඝාතන සිද්ධීන් 03ක් වාර්තා විය.

 

ෆිල්ඩෙල්ෆියා, බෝල්ටිමෝර් සහ ෆෝට්-වර්ත් නගරවල සිදුවූ එම වෙඩිතැබීමේ සිද්ධීන්වලින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, 38දෙනෙකු තුවාල ලැබීය.

 

නිදහස් දින නිවාඩු සමයට පෙර වාර්තා වූ මෙම සමූහ ඝාතනවලින් අමෙරිකාවේ ගිනිඅවි පාලන නීති දැඩි කළයුතු බවට පවතින එරට ජනතා මතය තවදුරටත් තීව්‍ර වී තිබේ.

 

ඒ සඳහා ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන් රජය පිහිටවූ දා පටන් උත්සාහයක නිරත වුවත්, ඊට මෙතෙක් ඉඩක් නොලැබුණේ කොංග්‍රසයේ බලය හිමි රිපබ්ලිකන්වරුන් විරුද්ධවීම හේතුවෙනි.

 

ඩොනල්ඩ් ට්‍රම්ප් පාලන සමයේදීත් රිපබ්ලිකන් පාක්ෂිකයින් අමෙරිකානු ජාතික රයිෆල් සම්මේලනය (Nationl Ritle Assosiation) සමග සමීප සබඳතාවක් පැවැත්වීය.

 

රිපබ්ලිකන්වරුන් සහ රයිෆල් සම්මේලනය අතර මේ සබඳතාව අමෙරිකාවේ දේශපාලනමය සහ සම්බන්ධයක් ලෙස සැලකෙයි.

 

ගිනිඅවි භාවිතය නිසා කොතෙක් මරණ සිදුවුවත්, සෑම අමෙරිකානු පුරවැසියෙකුටම ආත්මාරක්ෂාව සඳහා ගිනිඅවියක් දැරීමේ අයිතිය අහෝසි කිරීම පහසු කරුණක් නොවන බව පැවසෙයි.

 

බයිඩන් පරිපාලනය උත්සාහ කළේ අවම වශයෙන් ප්‍රහාරක අවි භාවිතය හෝ තහනම් කිරීමටය. එහෙත් එය මෙතෙක් සාර්ථක වී නැත.

 

ඊයේ අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධීන් පිළිබඳව සැලකූවිට ෆිල්ඩෙල්ෆියාවේදී වෙඩි නොවදින කබායක් හැඳ හිම ක්‍රීඩා යොදාගන්නා හිස්වැසුමක් පැළඳි පුද්ගලයෙකු ස්වයංක්‍රීය AR – 15 ගිනිඅවියකින්, මාර්ගයේ ගමන් ගන්නා වාහනවලට සහ පදිකයන්ට ඉවක් බවක් නොමැතිව සිදුකළ වෙඩිතැබීමෙන්, පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, අවුරුදු 2ක් සහ අවුරුදු 13ක ළමයින් දෙදෙනෙකු ද ඒ අතර විය.

 

ඊට පෙර බෝල්ටිමෝර් ප්‍රදේශයේදී පැවති එළිමහන් සාදයක් ඉලක්කකර සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගිය අතර, තවත් 28 දෙනෙකු තුවාල ලැබීය.

 

මෙහිදී වෙඩි පහරට ලක්වූ අයගෙන් අඩක් ළමයින් බව සඳහන් ය.

 

18 හැවිරිදි තරුණියක සහ 20 හැවිරිදි තරුණයෙකු මෙහිදී මිය ගොස් තිබුණි.

 

බෝල්මිටෝර්හි බෘෘක්ලින් ප්‍රදේශයේ දෙමහල් නිවාස සංකීර්ණයක් ඉදිරිපිට තණනිල්ලේ පැවති සාදයකට මෙලෙස වෙඩි තබා ඇති අතර, සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.

 

ෆෝට්-වර්ක් ප්‍රදේශයේ නිදහස් දින සැමරුම වෙනුවෙන් පැවති උත්සවයකින් අනතුරුව සිදුකළ වෙඩිතැබීමකින් ද පුද්ගලයින් 03 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

 

තවත් 8 දෙනෙකු එහිදී තුවාල ලැබූ අතර වෙඩික්කරුවන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැත.

 

අමෙරිකාවේ ගිනිඅවි හා සම්බන්ධ ප්‍රචණ්ඩ සිදුවීම් සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර මේ වසරේදී මේ දක්වා එවැනි සමූහ ඝාතන වෙඩි තැබීම් 340ක් වාර්තා වී ඇති බව සඳහන් ය.

 

ඊයේ වාර්තා වූ සිද්ධීන් වලින් අනතුරුව, ප්‍රචණ්ඩත්වය හෙළාදුටු අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ගිනිඅවි පාලන නීති දැඩි කිරීමේ අවශ්‍යතාව යළි අවධාරණය කළේය.

 

අමෙරිකාව නැවතත් අරුත්සුන් ඛේදනීය ඝාතන රැල්ලකට අවතීර්ණ වී ඇති බව ජනපති බයිඩන් එහිදී පැවසීය.

 

මේ නිසා ගිනිඅවි පාලන නීති සංශෝධනය කිරීම සඳහා අර්ථවත් සාකච්ඡාවකට එක්වන්නැයි ඔහු රිපබ්ලිකන් පක්ෂ කොංග්‍රස් පාක්ෂිකයින්ට ආරාධනයක් ද කළේය.

 

ගිනිඅවි පාලන නීති සංශෝධනය රිපබ්ලිකන් කොංග්‍රස් මණ්ඩලය වළක්වන්නේ ගිනිඅවියක් හිමිකර ගැනීම සඳහා අමෙරිකානුවන්ට ව්‍යවස්ථාවෙන් ම අයිතියක් ලබාදී ඇති බව පවසමිනි.

 

පසුගිය වසරේ අමෙරිකානු නිදහස් දින සැමරුම් උත්සවයකදී ද සමූහ ඝාතන සිද්ධීන් වාර්තා විය.

 

චිකාගෝ නුවර ආසන්නයේ හයිලන්ඩ් පාක් හි පැවති නිදහස් දින පෙළපාලියකට එල්ල වූ එම වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 48 දෙනෙකු තුවාල ලැබීය.

 

මෙම සමූහ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි තරුණයෙකුට එරෙහිව අධිචෝදනා 117ක් ගොනුකෙරුණු අතර, ඔහු තවදුරටත් අත්අඩංගුවේ පසුවෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top