දේශීය

නව වසරේ මත්පැන් බෝතල්වලට ආරක්ෂිත ස්ටිකරය

(UTV | කොළඹ) – දේශීය වශයෙන් නිෂ්පාදනය කරන සහ විදේශයන්ගෙන් ආනයනය කරන මත්පැන් බෝතල් සහ කෑන් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඒ අනුව 2022 ජනවාරි 3 වන දින සිට දේශීය වශයෙන් නිෂ්පාදනය කරන මත්පැන් ‌බෝතල් සහ කෑන්වල මෙම ආරක්ෂිත ස්ටිකරය ඇලවීම ආරම්භ කරන බව ය.

මෙලෙස ආරක්ෂිත ස්ටිකර් සහිත මත්පැන් වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර දැනට වෙළෙඳපොළේ ඇති අංක රහිත මත්පැන් තොග අවසන් වීමට නියමිත අතර ඒ සඳහා මාස 3ක කාලයක් ලබා දෙන බව ඔහු ‍පැවසී ය.

ඒ අනුව, ලබන වසරේ අප්‍රේල් පළමු වන දින වන විට දිවයින පුරා සමස්ත වෙළෙඳපොළේ අලෙවි වන සියලුම මත්පැන් බෝතල් මත මෙම ආරක්ෂිත ස්ටිකරය තිබෙනු ඇති බවට අපේක්ෂා කරන බව ද ඔහු පැවසී ය.

නීති විරෝධී ලෙස ආනයනය කරනු ලබන මත්පැන් වර්ග දේශීය වෙළඳපොළට ඇතුළු වීම වැළැක්වීම සඳහා මෙන් ම ශ්‍රී ලංකාව තුළ අලෙවි කරන සියලු ම දේශීය හා විදේශීය මත්පැන් මත අයවිය යුතු බදු මුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට අය වීම සඳහා ‌මෙම ආරක්ෂිත මුද්‍රා ක්‍රමය හඳුන්වා දීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත.

එමගින් වසරකට රු. බිලියන 140ක ආදායමක් රජයට ලැබෙන අතර එම මුදල වැඩි කර ගැනීමේ අරමුණින් මෙය ක්‍රියාවට නංවන බව කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසී ය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top