ක්‍රීඩා

තෙවන වරටත් විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩක සම්මානය හිමිකරගත් මෙසී!

(UTV | කොළඹ) –  2023 වසරට අදාළ ජාත්‍යන්තර පාපන්දු සම්මේලන විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩක සම්මානය ආජන්ටිනා පාපන්දු නායක ලියොනල් මෙසී හිමිකරගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජාත්‍යන්තර පාපන්දු සම්මේලන වසරේ පාපන්දු ක්‍රීඩකයා සම්මානයෙන් ලියොනල් මෙසී පිදුම් ලැබූ තෙවැනි අවස්ථාව ලෙසින් ද මෙය වාර්තා අතරට එක් විය. මෙහිදී පසුගිය 2022 වසරේ ලෝක කුසලානය තම රටට හිමිකර දීමට දැක්වූ සුවිශේෂී දායකත්වයෙන් අනතුරුව නිමා වූ 2023

වසරේදී ද පාපන්දු පිටියේ ලියොනල් මෙසී දැක්වූ දස්කම් ඇගයීමට ගනිමින් පැවැති මත විමසීමකින් අනතුරුව මෙසීට මෙම සම්මානය හිමිව තිබීමද කැපීපෙනෙන සිදුවීමකි.

2016 වසරේදී පළමුවරට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් වසරේ පාපන්දු ක්‍රීඩකයාට සම්මාන පිරිනැමීම ආරම්භ කිරීමෙන් අනතුරුව 2019 සහ 2022 යන වසරවලදී ද ලියොනල් මෙසී අදාළ සම්මානය හිමි කර ගැනීම විශේෂත්වයකි.

මේ අතර ලියොනල් මෙසී තම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේදී පලඳින අංක 10 ජර්සිය, මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියට සමුදීමෙන් අනතුරුව විශ්‍රාම ගැන්වීමට ආජන්ටිනා පාපන්දු සම්මේලනය තීරණය කර ඇති බව පසුගියදා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මේ වන විට 36 හැවිරිදි වියේ පසුවන ලියොනල් මෙසී ආජන්ටිනාව වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරග 180කට ක්‍රීඩා කරමින් ගෝල 106ක් රැස්කර ගැනීමට සමත්වී ඇත.

මේ අතර නිමා වූ පාපන්දු ලෝක කුසලානයේදී මෙසී පැලඳි අංක 10 ජර්සි 6ක් පසුගියදා වෙන්දේසි කිරීමට කටයුතු කර තිබිණි. එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 7.8ක වටිනාකමක් යටතේ අලෙවි වීමද කැපීපෙනෙන සිදුවීමකි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top