දේශීය

තෙල් – වරාය – විදුලිය අද කොළඹ විරෝධතා මාලාවක

(UTV | කොළඹ) – කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට පැවරිමේ රජයේ තීරණයට එරෙහිව ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති අද දිනයේදී කොළඹ කේන්ද්‍ර කරගනිමින් විරෝධතා මාලාවක් පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා.

තෙල් – වරාය – විදුලිය සුරැකීමේ ඒකාබද්ධ බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සදහන් කලේ තම බලවේගයට අනුබද්ධ වෘත්තීය සමිති අද දින විදුලි බල මණ්ඩල මූලස්ථානය – කොළඹ වරාය සහ ඛණිජ තෙල් සංස්ථාවේ කොළොන්නාව ප්‍රධාන ගබඩා සංකීර්ණය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධාන කර ඇති බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයද අද දිනයේදී විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා.

එමෙන්ම විදුලි සේවක විරෝධතාවයට සහය දක්වමින් ලංකා ඛණිජ තෙල් සංස්ථා සේවකයන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඉදිරිපිටදී සහ කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවයේ නිරත වනවා.

ඒ හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු වල යම් ප්‍රමාදයක් සිදු විය හැකි බවයි ලංකා ඛණිජතෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත කියා සිටියේ.

මේ අතර, කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයෙන් මහජන පීඩාවක් ඇති වන බැවින් එය නවතා දමන ලෙස ආඥාවක් නිකුත් කරන්නැයි වැල්ලම්පිටිය පොලීසිය කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ඊයේ ප්‍රතික්ෂේප කළා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් තමාට නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි අතිරේක මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ අපරාධ නඩු විධාන සංග්‍ර පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙන්ම පොලිස් බලතල පාවිච්චි කරමින් එහිදී කටයුතු කළ හැකි බවයි ඇය පැමිණිලි පාර්ශවයට කියා සිටියේ.

එමෙන්ම, ජලසම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු, ඉංජිනේරු උපාලි රත්නායක කියා සිටියේ විදුලි සේවක උද්ඝෝෂණය හමුවේ විදුලි විසන්ධි වීමක් සිදුව එය යථා තත්වයට පත් කිරීමට නොහැකි වුවහොත් ජල සැපයුමට ද බාධා එල්ල විය හැකි බවයි.

මීට සමගාමීව වරාය වෘත්තීය සමිති සංවිධානය කර ඇති විරෝධතාවය කොළඹ වරාය ඉදිරිපිට පිහිටි ඔරලෝසු කනුව අසලදී පැවැත්වෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කළා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top