දේශීය

තත්ත්වයෙන් අසමත් මිලියන 349ක ඖෂධ භාවිතයෙන් ඉවතට

රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයීම් අතරින් රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය 2022 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කර ඇති බව අනාවරණය වී තිබේ.

 

විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවට අනුව සඳහන් වන්නේ අදාළ ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර ඇති බවයි.

 

ඊට අමතර ව රුපියල් මිලියන 32ක් වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත් වීම මත පසුගිය වසර තුළ තාවකාලික ව භාවිතය අත්හිටුවා ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

 

වෛද්‍ය සැපයීම් අංශය විසින් රෝහල් වෙත ඖෂධ නිකුත් කිරීමට පෙර ඖෂධවල තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් නොමැති බැවින් ඖෂධ තත්ත්වයෙන් අසමත් බවට වාර්තා වන අවස්ථාව වන විටත් එම ඖෂධවලින් බොහෝ ප්‍රමාණයක් රෝගීන් විසින් භාවිත කර අවසන් කර තිබූ බව ද විගණනය මඟින් අනාවරණය වී තිබේ.

 

මේ අතර, 2022 වර්ෂය අවසන් වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය පවත්වාගෙන යාමේ දී අත්‍යවශ්‍ය තනතුරු අතරින් වෛද්‍ය නිලධාරීන් 1,331ක පුරප්පාඩු පැවතුණ බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

 

ඊට අමතර ව දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන් 77ක්, හෙද නිලධාරීන් 1,759ක්, හෙද සොයුරු සොයුරියන් 275ක්, වෛද්‍ය රසායනාගාර කාර්මික විශේෂඥවරුන් 136ක්, වෘත්තීය චිකිත්සකවරු 68ක් ඖෂධවේදීන් 126ක් සහ විගණන ශිල්පීන් 270ක් ද පුරප්පාඩු වී තිබූ බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

 

මේ අතර, 2022 වර්ෂයේ දී පැමිණීම සහ පිටවීම සනාථ කිරීම සම්බන්ධයෙන් වාර්තා තබා ගැනීමට පියවර ගත යුතු ඇඟිලි සලකුණු යන්ත්‍රය භාවිත නොකර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් වැටුප් සදහා රුපියල් මිලියන 43,356ක් ගෙවා ඇති බව අනාවරණය වී තිබේ.

 

එම වර්ෂය තුළ දී අතිකාල හා නිවාඩු දින වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 36,192ක් ද වැය කර ඇති අතර, එම මුදල වැටුප් පිරිවැයෙන් සියයට 72ක් පමණ වන බව ද විගණකාධිපතිවරයා නිකුත් කළ වාර්ෂික වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top