දේශීය

ජනපතිගෙන් ලංගම ගොඩ නැගීමට යෝජනා මාලාවක්

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, ලාභ ලබන ප්‍රමුඛ පෙළේ ආයතනයක් බවට පත් කිරීමට යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබේ.

මෙම යෝජනා නිසි පරිදි ක්‍රියාත්මක වුවහොත් භාණ්ඩාගාරයෙන් මුදල් වෙන් කරනු වෙනුවට භාණ්ඩාගාරයට මුදල් ලබාදිය හැකි රාජ්‍ය ආයතනයක් බවට ලංගමය පත්කිරීමට හැකි බව ඔහු කියා සිටියේය.

ලංකා ගමන ගමන මණ්ඩලයේ වත්මන් තත්ත්වය විමර්ශනය සඳහා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

සතියේ දිනවල පෙරවරුවේ සහ පස්වරුවේ දැඩි මාර්ග තදබදයක් පවතින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය මග හරවා ගැනිම පිණිස මෝටර් රථයෙන් කාර්යාලවලට යන පිරිස් පොදු ප්‍රවාහන සේවයට එක් කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

ඊට පිළියමක් ලෙස තෝරාගත් ස්ථානයක මෝටර් රථය නවතා සේවා ස්ථානයට බස් රථයෙන් ගමන් කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් කඩිනමින් හඳුන්වාදීම බව ජනාධිපතිවරයා යෝජනා කර සිටියේය.

උපරිම පහසුකම් සහිත බස් රථ ඊට එක්කළයුතු බව ජනාධිපතිවරයාගේ ස්ථාවරයයි.

පාසල් සිසුන් සඳහාම ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් පාසල් බස් සේවය ප්‍රවර්ධනය කිරිම ගෝඨාභය රාජපක්ෂගේ තවත් යෝජනාවක් වේ.

පාසල් බස් රථ කහ පාට ගන්වා මහා මාර්ගයේ දී ප්‍රමුඛත්වයක් ලැබෙන ආකාරයෙන් ධාවනය කිරීම පිළිබඳව ද ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ සහ පෞද්ගලික බස් රථ වර්ණ දෙකක් යටතේ ධාවනයට යෙදවීමේ වැදගත්කම ද රාජපක්ෂ මෙහිදි පෙන්වා දුන්නේය.

සේවක දිරිගැන්වීම, අලුත් ක්‍රම හඳුන්වාදීම, නාස්තිය අවම කිරීම සහ හොරකමට තිත තැබීම සඳහා විධිමත් පියවර අනුගමනය කිරීම ගැන ද මෙම සාකච්ඡාවේදි පුලුල් අවධානය යොමුව තිබේ.

ලංකා ගමනා ගමන මණ්ඩලය දියුණු කිරීම පිණිස නිරන්තර පර්යේෂණ සහ සමීක්ෂණ සිදු කළයුතුව ඇතැයි ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

4500 ක පමණ කාර්මික නිලධාරීන් කණ්ඩායමක් ලංකා ගමනා ගමන මණ්ඩලයේ සිටින අතර ඔවුන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන ආයතනයෙන් පිටත නඩත්තු කිරීම් සඳහා ඇණවුම් භාරගැනීමෙන් මුදල් ඉපැයිය හැකි බවයි ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top