දේශීය

ගෝලීය ආර්ථික අවපාතයක් ගැන IMF වෙතින් දැඩි අනතුරු ඇඟවීමක්

(UTV | කොළඹ) – 2023 වසරේ ගෝලීය වර්ධනය 2.7% දක්වා පහත වැටෙනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනාවැකි පළ කරයි.

එය ජූලි මාසයේ සිදු කළ පුරෝකථනයට වඩා 0.2% අඩු බව බව ත් 2023 වසර ලොව පුරා මිලියන ගණනක ජනතාවකට අවපාතයක් ලෙස හැඟෙනු ඇතැයි අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව අතර ඊයේ (11) පැවති වාර්ෂික හමුවේදී ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද ද ‘ලෝක ආර්ථික ඉදිරි දැක්ම’ පිළිබඳ වන වාර්තාව මගින් සඳහන් කර ඇත්තේ, ගෝලීය මූල්‍ය අර්බුදය සහ කොවිඩ්-19 වසංගතයේ උච්චතම අවස්ථාව හැරුණු විට, එය 2001 වසරෙන් පසු සිදුවන දුර්වල ම වර්ධනය බව ය.

මෙම වසර සඳහා IMFහි දළ දේශීය නිෂ්පාදිතයේ ඇස්තමේන්තුව 3.2%හි ස්ථාවරව පැවති අතර එය 2021 වසරේ දක්නට ලැබුණු අගයට වඩා 6%කින් පහළ ගොස් ඇතැයි ඔවුන් සඳහන් කර ඇත.

“නරක ම දේ තව ම පැමිණ නැහැ. බොහෝ දෙනෙකුට 2023 වසර අවපාතයක් සේ දැනේවි,” යනුවෙන් ඔවුන් අනතුරු අඟවා තිබේ.

ගෝලීය ආර්ථිකයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් අඛණ්ඩව කාර්තු දෙකක සෘණ වර්ධනයක් පෙන්නුම් කරන අතර ලොව විශාලතම ආර්ථිකයක් හිමි අමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමයේ රටවල් සහ චීනයේ ආර්ථික වර්ධන වේගය දිගට ම මන්දගාමී වනු ඇති බව එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.

“ඊළඟ වසර වේදනාකාරී වනු ඇත,” යනුවෙන් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් IMFහි ප්‍රධාන ආර්ථික විද්‍යාඥයෙකු වන Pierre-Olivier Gourinchas ප්‍රකාශ කර තිබේ.

IMF සිය වාර්තාව මගින් දැනට වර්ධනයට බාධා කරන ප්‍රධාන සිදුවීම් තුනක් දක්වා ඇත.

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම, ජීවන වියදම් අර්බුදය සහ චීනයේ ආර්ථික මන්දගාමීත්වය එම සිදුවීම් අතර වේ.

එම සිද්ධි එක්ව ආර්ථික, භූ දේශපාලනික සහ පාරිසරික වශයෙන් “අස්ථාවර” කාල පරිච්ඡේදයක් නිර්මාණය කරන බව IMF සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.

IMF අපේක්ෂා කරන්නේ ගෝලීය උද්ධමනය 2022 අග භාගයේදී ඉහළ යනු ඇති බව ය.

ඒ අනුව, 2021 වසරේදී පැවති 4.7% සිට 8.8%ක් දක්වා ගෝලීය උද්ධමනය ඉහළ යනු ඇති බවට ත් එය පෙර බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ත් ඔවුහු අපේක්ෂා කරති.

කෙසේ වෙතත්, IMF පුරෝකථනයට අනුව, ගෝලීය උද්ධමනය 2023 වසරේදී 6.5% දක්වා සහ 2024 වසර වන විට 4.1% දක්වා පහළ යනු ඇතැයි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top