විදෙස්

කාර්ටූම් අගනුවරට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට

සුඩානයේ කාර්ටූම් අගනුවර ඩාර්.එස්.සලාම් දිස්ත්‍රික්කයට ඊයේ (08) එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් විසි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බව බීබීසී වාර්තා කරයි.

 

නයිල් නදියේ ප්‍රතිවිරුද්ධ ඉවුරේ මෙම ප්‍රදේශය පිහිටා ඇති බව සඳහන් වෙයි.

 

සුඩාන හමුදා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, මිය ගිය පුද්ගලයන්ට අමතරව තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද සඳහන් ය.

 

මිය ගිය පුද්ගලයන් අතර ළමුන් හා කාන්තාවන් ද සිට ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර ඇත.

 

නමුත් ආර්.එෆ්.එස් බළකාය වාර්තා කරන්නේ, මිය ගිය පුද්ගලයන් ගණන 31ක් ලෙසට ය.

 

පසුගිය අප්‍රේල් 15 වන දා සිට සුඩාන හමුදා හා එරට පැරා මිලිටරි බළකාය හෙවත් ආර්.එෆ්.එස් හමුදා අතර මෙම ගැටුම් හටගෙන තිබිණි.

 

සුඩාන හමුදා ප්‍රධානී ජෙනරාල් අබ්දෙල් ෆටා අල්-බුර්හාන් සහ ආර්.එෆ්.එස් බළකායේ ප්‍රධානී ජෙනරාල් මොහොමඩ් හම්දාන් දගලෝ අතර ඇති වූ බල අරගලය හේතුවෙන් මෙම ගැටුම් ආරම්භ විය.

 

මෙම ගැටුම් පිළිබඳ එක්සත් ජාතින්ගේ මහලේකම් ඇන්ටොනියෝ ගුටරේස් දිගින් දිගට ම අදහස් පළ කළ අතර, මෙම ගැටුම් සිවිල් යුද්ධයක් කරා ව්‍යාප්ත විය හැකි බවට ඔහු අනතුරු අඟවා තිබිණි.

 

එය සමස්ත කලාපය ම අස්ථාවර කිරීමට හේතුවක් විය හැකි බවත් සටන් නතර කර සිවිල් වැසියන් ආරක්ෂා කරන ලෙස ඔහු දෙපාර්ශවයෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

 

මේ වන විට ආර්.එෆ්.එස් බළකාය විසින් කාර්ටූම් අගනුවර හා ඔම්ඩර්මාන්, බාරි යන නගර අත්පත් කරගෙන ඇති අතර, ඊට ප්‍රතිචාර ලෙස හමුදාව විසින් ගුවන් ප්‍රහාර හා කාලතුවක්කු ප්‍රහාර එල්ල කරමින් සිටියි.

 

සති දොළහක් පුරා පවතින මෙම ගැටුම් හරහා දැනට පුද්ගලයන් සිය ගණනක් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, මිලියන තුනකට ආසන්න සංඛ්‍යාවක් සිය නිවාස අතහැර දමා ගොස් ඇත.

 

අගනුවර ආශ්‍රිත කඩසාප්පු හා වෙළෙඳසල් වසා දමා ඇති අතර, වෛද්‍ය පහසුකම් ආදිය ද අවහිර වී ඇති බව වාර්තා වෙයි.

 

සටන් විරාම සඳහා ද අවස්ථා කිහිපයකදී ම එළැඹුණු නමුත් ඒවා දිගු කාලයක් පැවතියේ නැත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top