දේශීය

කළු , ගිං සහ නිල්වලා අවධානම් මට්ටමේ

(UTV | ගාල්ල) –  ගිං ගඟේ ඉහළ ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් නෙළුව, තවලම, කොටපොල ප්‍රදේශවල පහත් බිම්වල වෙසෙන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  

ගාල්ල – නෙළුව ප්‍රදේශයේ පවුල් 12 ක පුද්ගලයින් මේ වනවිට සිය නිවෙස්වලින් ඉවත්ව ගොස් ඇති බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.

පැල්මඩුල්ල – කුට්ටපිටිය තේ කර්මාන්ත ශාලාවට ඉහල කඳු ප්‍රදේශයේ සිට පහල නිවාස දෙසට අවදානම් ලෙස ගලා ආ ජල පහරක් හේතුවෙන් නිවාස 17 ක 60 දෙනෙකු එම ස්ථානයෙන් ඉවත් කිරීමටද පොලිසිය පියවර ගනු ලැබීය.

අධික වැසි හේතුවෙන් මස්කෙළිය – සාමිමලේ – ගවරවිල වතුයායේ බාග්‍රෝ කොටසේ වතු නිවාස 26 ක් ජලයෙන් යටවිය.

ඉහළ කොත්මලේ ජලාශයේ ජලපෝෂක ප්‍රදේශවලට අද අලුයම සිට ඇදහැලෙන වර්ෂාපතනයත් සමඟ එම ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කිරීමට පියවර ගැණුනි.

තවදුරටත් තද වැසි ඇද හැලුනහොත් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔය දෙපස පහත්බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

කළු ගඟේ අතු ගංඟාවක් වන කුඩා ගඟේ ජල මට්ටම ඉහළ යෑම නිසා බුලත්සිංහල, මිල්ලනිය, පාලින්දනුවර සහ මදුරාවල ප්‍රදේශවල පහත්බිම්වල ජනතාවට අවධානයෙන් සිටින ලෙසටද එම මධ්‍යස්ථානය පවසයි.

පවතින තත්ත්වයත් සමඟ ගාල්ල, මාතලේ, රත්නපුර, කළුතර, මාතර, කොළඹ, කෑගල්ල, කුරුණෑගල, මහනුවර සහ නුවරඑලිය යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ස්ථාන සඳහා පනවා තිබූ නායයෑමේ අවදානම් අනතුරු ඇඟවීම හෙට පස්වරු 2.30 දක්වා දීර්ඝ කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කරයි.

අද පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා කාලය තුළ වැඩිම වර්ෂාපතනය නුවරඑළිය – අප්කොට් ප්‍රදේශයෙන් වාර්තාවී ඇති අතර, එහි අගය මිලිමීටර 173.5 ක්.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top