දේශීය

උසස් පෙළ ප්‍රතිඵල අගෝස්තු – විභාගය නොවැම්බර්

‍2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය තුළ ලබාදීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 

ඔහු ප්‍රකාශ කළේ, ඒ අනුව 2023 උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය අග ආරම්භ කර දෙසැම්බර් නත්තලට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවය.

 

සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පැවැත්වීමට සිදුවන බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසුවේය.

 

“අගෝස්තු මාසයේ මැද භාගය වනවිට උත්තරපත්‍ර සම්පුර්ණ සමීක්ෂණය කරලා ප්‍රතිඵල නිකුත් කරන මට්ටමට ඇවිල්ලා අවසාන කරන්න පුළුවන්. අගෝස්තුවල ප්‍රතිඵල ආවට දැන් ඉඳලා සුදානම් වෙන්න පුළුවන් විභාග තියෙන වකවාණු ප්‍රකාශයට පත්කරලා තියෙනවා. නිවාඩු කාලසීමාවේ තමා විභාග පවත්වන්නේ. දින 21ක් අවශ්‍ය වනවා උසස් පෙළ විභාගය සම්පුර්ණයෙන් අවසන් කරන්න. අපේ අරමුණ තමා නත්තලට කලින් මේ විභාගය පවත්වලා අවසන් කරන්න. හැබැයි සාමාන්‍ය පෙළ දැනට පවත්වන්න වෙන්නේ මාර්තු – අප්‍රේල් වගේ. ඒකට අදාළ වාර සටහන් දැනට සකස් කරමින් යනවා.”

 

මේ අතර ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා ජාතික අධ්‍යාපන කොමිසම යටතේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය.

 

“පෞද්ගලික පාසල් වර්ග දෙකක් තියෙනවා. රජයේ ආධාර ලබන පාසල්. එතකොට රජය මඟින් සම්පුර්ණ නිල ඇඳුම්, පෙළ පොත් සහ ගුරුවරුන්ගේ වැටුප රජයෙන් ලබාදෙන්නේ. පෞද්ගලික පාසල්වලත් අපිට යොමුකරන සියලුදෙනාගේ පුහුණුව අපි ලබාදෙනවා. රජයේ ආධාර නොලබන පාසල් තියෙනවා සම්පුර්ණයෙන්ම පෞද්ගලික හැටියට. ඒවා ඒ ආයතන මඟින් ඒවා පාලනය වෙනවා. හැබැයි ඒ අයගේ යම් පැමිණිල්ලක් ආවොත් අපි පුද්ගලික අංශය මඟින් පරීක්ෂා කරලා ඒ සඳහා අවශ්‍ය පිළියම් අපි යොදනවා. ඊළඟ කොටස තමා ජාත්‍යන්තර පාසල්. රට පුරා 300කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒවායේ තමා ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නය තියෙන්නේ. මොකද ඒ සියල්ල ලියාපදිංචි වෙලා තියෙන්නේ සමාගම් පනත යටතේ. ඒ නිසා දැනට ජාතික අධ්‍යාපන කොමිසමෙන් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. අපි කොමිසමට අරන් ඒ ජාත්‍යන්තර පාසල් නියාමනයට අවශ්‍ය ඒකකයක් පිහිටුවන්න අපි කටයුතු කරනවා.”

 

මේ අතර දකුණු පළාතේ පාසල්වල උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන් ඉවත් කිරීමේ වැඩපිළි‍වෙළක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වේ.

 

මේ සම්බන්ධයෙන් ඊයේ (10) මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර කාර්යාලය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කෙරුණි.

 

එහිදී අදහස් දැක්වූ රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මාගම මහානාම හිමි සඳහන් කළේ, එමඟින් ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති අයිතියක් උල්ලංඝනය වන බවය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top