විදෙස්

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් තවදුරටත් දරුණු වෙයි

ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් මේවනවිට තවදුරටත් තීව්‍ර වෙමින් තිබේ.

 

එවැනි පසුබිමක උතුරු ගාසා තීරයේ ලක්ෂ 4කට ආසන්න පලස්තීන වැසියන් පිරිසක් තවමත් රැඳී සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

 

ගාසාහි විශාලතම රෝහල ලෙස සැලකෙන අල් ෂිෆා රෝහල අසළදී ගිලන් රථයකට ඊයේ ගුවන් ප්‍රහාරයක් එල්ල වුණි.

 

ප්‍රහාරයේ වගකීම භාරගත් ඊශ්‍රායලය පවසන්නේ එය හමාස් ත්‍රස්තවාදීන් භාවිත කරන ගිලන් රථයක් බවය.

 

ප්‍රහාරයෙන් පලස්තීන ජාතිකයින් 15 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලැබීය.

 

මේ අතර, අවතැන් වූ පිරිස් රැඳී සිටි පාසලකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් තවත් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබේ.

 

ඊශ්‍රායලය, ගාසා තීරය ඉලක්ක කරමින් ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින පසුබිමක ගොඩබිම් ගැටුම් ද තීව්‍ර වෙමින් පවතී.

 

මේ අතර, උතුරු ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් සිදුකෙරෙන වීඩියෝවක් හමාස් සංවිධානය නිකුත් කර තිබුණි.

 

ඊශ්‍රායලය මේ වනවිට ගාසා සිටි නගරයට පමණක් එල්ල කර ඇති ප්‍රහාර ගණන 10,000ක් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

 

එමෙන්ම මානව හිමිකම් සංවිධාන පවසන්නේ, ගාසා තීරයට එල්ල කර ඇති ප්‍රහාර න්‍යාෂ්ටික බෝම්බ දෙකක ප්‍රබලත්වයට සමාන බවය.

 

දිනෙන් දින යුද ගැටුම් තීව්‍ර වෙමින් පවතින මෙවන් පසුබිමක පලස්තීනයෙන් වාර්තා වන මරණ ගණන 9,200 ඉක්මවා ගොස් තිබේ.

 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසන්නේ ප්‍රාණඇපකරුවන් නිදහස් කරන තෙක් සටන් විරාමයකට එකඟ නොවන බවය.

 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු,

 

“අපේ ජයග්‍රහණය ඒකීය සහ පැහැදිලි එකක්. ඉන් අපේ සතුරන්ට පරම්පරා ගණනාවක් මතකයේ හිටින පණිවුඩයක් ලබාදෙනවා. අපේ සතුරන්ගේ අරමුණ ඊශ්‍රායලය විනාශ කිරීම. මම අපේ සතුරන්ට කියන්නේ, ඔබ විනාශ වෙනවා. එක වැරැද්දකට ඔබට සිතා ගැනීමට නොහැකි තරම් විශාල ප්‍රතිවිපාක විඳින්න සිදුවේවි.”

 

මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ගාසා තීරයේ ආරක්ෂිත යැයි පැවසිය හැකි කිසිදු ස්ථානයක් නොමැති බවය.

 

ගැටුම් මධ්‍යයේ පීඩිතව සිටින ජනතාව වෙනුවෙන් ඔවුන්ට කළ හැකි දේ ඉතාමත් අවම බව ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරයි.

 

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, ගාසා තීරයට ඩොලර් බිලියන 1.2ක සහනාධාර අවශ්‍ය බවය.

 

ඊයේ ඊශ්‍රායලය වෙත ගිය අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් අවධාරණය කළේ, යුද ගැටුම් වහාම

මානුෂීය නැවතුමකට එළැඹිය යුතු බවය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top