විදෙස්

ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම්

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය දකුණ ලෙබනනයේ දේශසීමාව වෙත ප්‍රහාර එල්ල කර තිබේ.

 

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊශ්‍රායල ඊයේ දකුණු ලෙබනන දේශසීමාවේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර එලෙස ප්‍රහාර එල්ල කර තිබූ බවය.

 

ඒ, හිස්බුල්ලා සටන්කාමීන් ඊශ්‍රායලයට වරින්වර එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙනි.

 

ඒ සමග ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම් ක්‍රියාත්මක වී තිබුණි.

 

ඊශ්‍රායලය මෙලෙස එල්ල කළ ප්‍රහාරයක් දකුණු ලෙබනන දේශසීමාවේ සිට සජිවී විකාශන සිදු කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් වෙත එල්ලවී තිබුණි.

 

ඉන් රොයිටර්ස් මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියෙකු මිය ගොස් ඇති අතර මාධ්‍ය ජාල කිහිපයක මාධ්‍යවේදීන් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

 

මේ අතර දින 8ක් පුරා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ක්‍රියාත්මක ගැටුම්වලින් දෙපාර්ශ්වයේම මිය ගිය පිරිස 3,200 ඉක්මවා ඇත.

 

ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලය ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙපාර්ශ්වය අතර ගැටුම් හටගෙන අදට දින 8ක් සම්පූර්ණ වෙයි.

 

යුද්ධය ඇරඹි ගෙවුණ 14 වනදා පටන් හමාස් සටන්කාමීන් එල්ල කළ ගුවන් ප්‍රහාර සහ ඊශ්‍රායලයට ඇතුළුවී එල්ල කළ ප්‍රහාරවලින් මිය ගොස් ඇති ඊශ්‍රායල වැසියන් ගණන 1,300 ට අධිකය.

 

ඊයේ දිනයේ ද හමාස් සටන්කාමීන් මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

 

මේ අතර, යුද්ධය ඇරඹි පසුගිය සති අන්තයේදී හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ හොලිට් ජනාවාසය වෙත ඇතුළුව එහි සිටි දරුවන් සමග සිටින විඩීයෝවක් නිකුත් කර තිබුණි.

 

කෙසේ වුවද මෙම දරුවන්ගේ දෙමව්පියන් පිළිබඳ තොරතුරු කිසිවක් හෙළිවී නැත.

 

මේ අතර හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් ඊශ්‍රායල වැසියන් ගාසා තීරයේ රහසිගත පෙදෙස්වල රඳවා ඇතැයි ඊශ්‍රායලය පවසයි.

 

එම ප්‍රාණ ඇපකරුවන් අතර ළමුන් 13 දෙනෙකු ද සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

 

මේ අතර, හමාස් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර වශයෙන් ඊශ්‍රායලය, ගාසා තීරය වෙත අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටී.

 

ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගොස් ඇති පලස්තීන වැසියන් ගණන 1,900 ඉක්මවන අතර තුවාල ලැබූ පිරිස 8,000 කට ආසන්නය.

 

ඒ අතරින් සියයට 60ක් පමණ ළමුන් සහ කාන්තාවන් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

 

එමෙන්ම ඊශ්‍රායලය, ගාසා තීරයට ගුවන් මගින් අනතුරු ඇඟවීම් පත්‍ර හෙළීමට ද කටයුතු කර ඇත.

 

ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ මිලියන 1.1 ක් වූ ජනතාව දකුණු දෙසට ඉවත්ව යාමට කටයුතු කළේ ඒ අනුව ය.

 

කෙසේ වුව ද, මෙලෙස ඉවත් ව යමින් සිටින පලස්තීන වැසියන් ඉලක්ක කර ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කළ බව හමාස් සටන්කාමීන් පවසයි.

 

එම ප්‍රහාර වලින් 70 දෙනෙකු මිය ගොස් ඇතැයි සඳහන් ය.

 

මේ අතර, ගාසා තීරයට ඇතුළු වී පළමු මෙහෙයුම දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

 

ඒ ත්‍රස්තවාදය තුරන් කිරීමේ සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් රඳවා ඇති ස්ථාන පිළිබඳ සාක්ෂි සොයා ගැනීමේ අරමුණින් බවද ඔවුන් සඳහන් කරයි.

 

ඒ අනුව, අතුරුදන් ඊශ්‍රායල ජාතිකයින් කිහිප දෙනෙකුගේ සිරුරු හමුවී ඇත.

 

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසා ඇත්තේ,

 

“අපි ඉතාමත් ශක්තිමත්ව සතුරන්ට පහර දෙනවා. මම අවධාරණය කරනවා, මේ ආරම්භය පමණයි. මේ අපේ සතුරන් ප්‍රතිවිපාක විඳින්න පටන් ගත්තා විතරයි. ඉදිරි සැලසුම් මම පවසන්නේ නැහැ. නමුත් මම කියන්නේ මෙය ආරම්භය පමණයි.”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top